දකුණු කොරියාවේ හ්වාසොං නගරයේ සිදුවූ රිය අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනාගේ දේහ මෙරටට ගෙන්වාගැනීම සඳහා සෝල්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බව වැඩබලන විදේශ අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කර තිබේ.

මියගොස් ඇත්තේ ගොඩකවෙල, රන්වල පදිංචි 39 හැවිරිදි දෙහිපිටිය විදානෙලාගේ අනිල් කුමාර විජේරත්න සහ වලපනේ, හල්ග්‍රන්ඔය පදිංචි 31 හැවිරිදි මහේෂ්වරන් ප්‍රසන්තන් යන දෙදෙනාය.

අනතුර නොවැම්බර් 26 වැනිදා රාත්‍රී 9.00ට පමණ හ්වාසොංහි ජංගන්-මියොන් ප්‍රදේශයේදී සිදුවී ඇත. හ්වාසොං සෝබු පොලිස් ස්ථානය ඒ පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ නොවැම්බර් 27 වැනිදාය.

දකුණු කොරියානු SBS ප්‍රවෘත්ති සේවයට අනුව, අසල කර්මාන්තශාලාවක සේවය කළ මෙම දෙදෙනා වැඩ අවසන් කර නවාතැන වෙත පා ගමනින් යමින් සිටියදී අනතුරට ලක්ව තිබේ. ඔවුන් පසුකර ගිය ටොන් 7.5ක භාණ්ඩ ප්‍රවාහන රථයක පැති සීමාවෙන් පිටතට නෙරා තිබූ බඩු කොටසක් ගැටීමෙන් දෙදෙනා බරපතළ තුවාල ලබා ඇත. රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන් මියගොස් තිබේ.

රථයේ ප්‍රවාහනය කළ දැව නිවසක වහල කොටසක් අනතුරට සම්බන්ධ බවත්, භාණ්ඩ පැටවීමේ නියමයන් උල්ලංඝනය වී ඇත්දැයි පොලිසිය විමර්ශනය කරන බවත් SBS වාර්තා කරයි. පනස් හැවිරිදි වියේ පසුවන රියැදුරා සම්බන්ධයෙන්ද නීතිමය විමර්ශන ආරම්භ කර ඇත.

දේහ මෙරටට එවීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම සඳහා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය, විදේශ අමාත්‍යාංශය, කොරියානු බලධාරීන් සහ මියගිය අයගේ පවුල් අතර සම්බන්ධීකරණය සිදුකරයි. පවුල් විසින් නම් කරන ලද, දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සමඟද තානාපති කාර්යාලය සම්බන්ධ වී ඇත.

මියගිය සේවකයන් දෙදෙනාම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශගත වූවන් බව අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කර තිබේ.