අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී අදහස් දක්වමින් කියා සිටියේ මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ වෙනත් කිසිවෙකුගේ පුද්ගලික ප්‍රතිසංස්කරණයක් නොව, සියලු දෙනාගේ අදහස් හා යෝජනා අනුව සිදුවන ජාතික ප්‍රතිසංස්කරණයක් බවයි.
ඇය සඳහන් කළේ, වත්මන් අධ්‍යාපන ක්‍රමයේ දරුවන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නොමැති බවත්, ඒ වෙනුවට දරුවන්ට මිත්‍රශීලී, සතුටුදායක පාසල් පරිසරයක් නිර්මාණය කළ යුතු බවත්ය. නව ප්‍රතිසංස්කරණ මගින් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ව්‍යවසායකයින්, කලාකරුවන් වැනි විවිධ වෘත්තීයවේදීන් බිහිකිරීම අරමුණු කරයි.
මෙම ප්‍රතිසංස්කරණයේදී සෑම පළාතක්ම, දිස්ත්‍රික්කයක්ම හා කලාපයක්ම වැදගත් වන අතර, සම්පත් සාධාරණ ලෙස බෙදා හැරීම මගින් සමානාත්මතාවය ඇති කිරීමට බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම දුෂ්කර හා ඌන සම්පත් සහිත ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ඇය පැවසුවාය.
ගුරු පුරප්පාඩු විසඳීම, පාසල් සඳහා ඩිජිටල් පහසුකම්, නවීන පන්ති කාමර, සනීපාරක්ෂක පහසුකම්, ක්‍රීඩා පිටි, විද්‍යාගාර, සහ නවෝත්පාදන අවකාශයන් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා හොඳ සැලැස්මක් ඇති බවත් ඇය කීවාය.
මෙම ප්‍රතිසංස්කරණය අදියර වශයෙන් ක්‍රියාත්මක වන අතර, 2026 වසරේදී පළමු සහ හය වසර සඳහා ආරම්භ කිරීමට නියමිතයි. මේ පිළිබඳව දැනටමත් ගුරු සංගම්, වෘත්තීයවේදීන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කර ඇති අතර, ඉදිරියේදී දෙමාපියන් ඇතුළු සමාජයේ සියලු අංශවල සහයෝගය අපේක්ෂා කරන බවද ඇය අවධාරණය කළාය. සියලු දරුවන් වෙනුවෙන් වෙන් නොවී එකට වැඩ කළ යුතු බව ඇය අවසාන වශයෙන් පවසා සිටියාය.
