පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපත්වරයා තමන්ට දේශපාලනයේ අත්දැකීම් මඳ බවත්, අගමැතිවරයා රාජ්‍ය පාලනයට තවදුරටත් මැදිහත් විය යුතු බවත් ප්‍රකාශ කල බව ලංකා සී නිවුස් ඇතුලු වෙබ් අඩවි කිහිපයක් වාර්තා කලා. එම පුවතට සමාජජාල මාධ්‍ය තුල විශාල ප්‍රචාරයක් හිමිවූ අතර එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද ආවේගශීලි කතාවක් සිදුකල බව වාර්තා වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් යම් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ඔහුගේ එම සටහනට අනුව සාමූහික තීන්දු ගැනීම සදහා ජනාධිපතිවරයා ක්‍රියාකල යුතුබවයි ඔහුගේ මතය වී ඇත්තේ.

පසුගිය සමය පුරාම, විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය සමාගමකට බදුදීමට ගිය අවස්ථාවේ සිට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වැනි ආන්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් ඒ ඒ පක්ෂ වල මූලස්ථාන වල රැස්වී එකට එක්ව තීන්දු තීරණ ගන්නා ස්වභාවයක් දක්නට ලැබිණි.

මෙම කණ්ඩායම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ බැසිල්ට හිතවත් පිරිසට ප්‍රතිවිරෝධී මතවාදයක් දරමින් සිටින බව නොරහසක්. ඊට ලුණු ඇඹුල් එක්කරමින් විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායමට සහය දක්වන මුරුත්තෙට්ටුවේ ආනන්ද වැනි ආණ්ඩුවට හිතවාදී බෞද්ධ භික්ෂූන්වහන්සේලා මාධ්‍ය හමුවලදී ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකරන විවේචනද ඉතා ප්‍රභලයි.

ආන්ඩුවේ වත්මන් තීන්දු තීරන බොහොමයක් ජනාධිපතිවරයාගේ තීන්දු නොවන බවත් ඒවා බැසිල් රාජපක්ෂගේ තීන්දු තීරණ බවත් අභ්‍යන්තරයෙන් ඇහෙන කතාවයි. එවන් තත්වයක් යටතේ අමාත්‍ය විමල් වීරවංශ විසින් සිය සටහනේ සඳහන් කර ඇති “ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත. සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇත.” යන කොටසේ සරළ තේරුම වනුයේ ආන්ඩුවේ තීන්දු ගැනීම බැසිල්ගේ කරමත පැටවීමෙන් වැළකී එය ජනාධිපතිවරයා විසින් සිදුකල යුතුය යන්නයි.

ආණ්ඩුව කඩිනමින් මෙම අර්බුදය විසදා නොගතහොත් විශාල දෙදරා යාමක් අතළඟ බවයින් වාර්තා වන්නේ.