පසුගියදා අන්තර්ජාතික ගවේශණශීලී මාධ්‍යවේදීන්ගේ එකමුතුව විසින් මුදාහරින ලද පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ඊයේ 43 සේනාංකය විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙම පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් නිරුපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා විසින් අනීතික ලෙස අක්වෙරළ සමාගම් හරහා හුවමාරු කර ඇති මුදල රුපියල් කෝටි 3200ක් බව එහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් මාධ්‍යවෙත හෙළිදරව් කලා.

“කෝටි 3200ක් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කොල්ලකාලා තියෙනවා. දැන් මේ ආණ්ඩුවට යන එනමක් නෑ.. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කල යුතුයි. අපි විශ්වාස කරනවා මේ රටේ අල්ලස් කොමිසම ජනතාව සම්බන්ධයෙන් වැඩකරන ආයතනයක් නම් ඔවුන් වහාම ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නැතුව අපි විශ්වාස කරන්නේ නෑ මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරයි කියලා. “නීතිඥ ගුණරත්න වන්නිනායක

නිරුපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් 2013 වසරේදී එවකට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මැතිණිය සමඟ කොළඹ පැවති උත්සවයක්දී ලබාගන්නා ලද ජායාරූපයකි.
Image Credit – exploresrilanka.lk

අල්ලස් කොමිසමට මේ ගැන විමර්ශණය කල හැකිද?

මෙම මාධ්‍ය හමුවේදී හදහස් පළකල නීතීඥ ශිරාල් ලක්තිලක මහතා මෙම ප්‍රශ්ණයට පිළිතුරක් ලබාදුන්නා.

“අල්ලස් කොමිසම ප්‍රකාශයක් කරලා තියනවා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න කියලා පරීක්ෂණයක් කරන්න අවශ්‍ය නම්. අපි ඉතා වගකීමෙන් කියනවා එහෙම පැමිණිල්ලක් අවශ්‍ය නැහැ. ඕනනම් අපි පැමිණිල්ලකුත් කරන්නම්. 1988 අංක 74 දරණ වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ පණතේ හයවෙනි වගන්තිය අනුව පැහැදිලිවම මේ සදහා අල්ලස් හෝ දුෂණ කොමිසමට වගකීමක් තියෙනවා එවැනි තත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්න. තිරුකුමාර් නඩේසන් සහ නිරුපමා රාජපක්ෂ මේ රටේ පුරවැසියන්. අනෙක් අතට ඔවුන් පක්ෂයක නියෝජිතයන්. නිරුපමා රාජපක්ෂ අපේක්ෂිකාවක්. හිටපු ඇමතිකෙනෙක්. පනතේ දෙවන වගන්තිය යටතේ ඔවුන් වත්කම් බැරකම් ප්‍රකාශ හෙළිදරව් කිරීම අනිවාර්යයි.”

නීතිඥ ශිරාල් ලක්තිලක

පසුගිය ඔක්තෝම්බර් 03 වනදා හෙළිදරව් කරන ලද මෙම මහාපරිමාණ බදු වංචා සහ අක්වෙරළ සමාගම් හරහා සිදුකල මූල්‍ය අපහරණයන් සම්බන්ධ සංවේදී තොරතුරු නිසා රටවල් කිහිපයක දේශපාලන නායකයින්, නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ව්‍යාපාරිකයින් රැසක් සිය ධනය සැඟවීම සිදුකර ඇති ආකාරය පිළිබඳව අඳුරු පැතිකඩ නිරාවරණය වී ඇත.

“තව අවුරුදු දෙකකින් නියත වශයෙන්ම මේ ආන්ඩුව ගෙදර ගියහම නැවත එළබෙන ආන්ඩුවක් තුල මේවා විමර්ශණය කරන්න ඕන. මේ රටේ ජාතික ධනය කොල්ල කාපු ගයිජස් පරම්පරාවේ චෞර වළල්ල පිළිබඳව විමර්ශණය කල යුතුයි. මේ රජය මේක කොපමන යටගහන්න උත්සාහ කලත් මේක ලෝකය පුරා ගිහිල්ලා තියෙන්නේ. මෙක වහන්න, වළ දමන්න මේ ආණ්ඩුවට හැකියාවක් නෑ. මේ කොල්ලකරුවන්ට දඩුවම් දෙන්න අපි නායකයෙක් හදන්න ඕන. ඒ නායකයා මේ නිකන් ඥං පචං නායකයෙක් නෙමෙයි. බුද්ධියක් තියෙන, ඥාණ ශක්තියක් තියෙන, පුරුෂ ශක්තියක් තියෙන නායකයෙක් අපි ගොඩනගන්න ඕන. එවන් නායකයෙක් මේ රටේ බිහිකරන්න මේ වනවිටත් සාකච්ජා කරමින් සිටිනවා. මේ රටේ ජනතාව දැන් තේරුම්ගත යුතුයි ඥාණ මණ්ඩල දරිද්‍රතාවයෙන් පෙළෙන බුද්ධි හීන පුද්ගලයෙකුට මේක කරන්න බෑ කියලා. ” යනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා.