ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සිදුවන කෙනෙහිලිකම් සහ ජනතා ගැටලුවලට නායකත්වය සැපයීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනා විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ලබන 21 වන බදාදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙයි.

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩුව සමග තවදුරටත් කටයුතු කිරීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බවයි.

ඉන් බහුතර මතය වී ඇත්තේ වත්මන් ජනතා ගැටලු සඳහා නායකත්වය සපයමින් ජනතාව සමග කටයුතු කිරීමට ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි. කෙසේ වෙතත් මෙම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෙන්වාදී ඇත.

පොහොර අර්බුදය, උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීම, ජීවන වියදම මෙන් පොදු ප්‍රශ්න සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන සිදුවන කෙනෙහිලිකම් ගැනද ලබන 21 වැනිදා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

– උපුටා ගැනීම අරුණ පුවත්පත