බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදි සැබෑ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් ජනතාවට දැකගත හැකි වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින් අද (19) පෙරවරුවේ පැවති විරෝධතාවක් අතරතුර දී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන එනු ලැබු විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින් අද (19) උදෑසන සංවිධානය කර තිබූ විරෝධතාවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා එම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු වටරවුමේ සිට සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු ඇතුළු විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පිවිසුම අසලට පාගමනින් පැමිණියේ විරෝධතා පුවරු ද රැගෙනය.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“මුළු රටම අනාථ කරපු මේ රජය ජන බලයෙන්, ජන සවියෙන් ගෙදර යැවීමේ ගමනයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. එහි පළමු පියවර හැටියට අපි ලිට්මස් ටෙස්ට් එකක් කරනවා. හරියටම හෙට දවස අවසන් වෙද්දි දැනගන්න පුළුවන් දේශප්‍රේමියා කවුද දේශද්‍රෝහියා කවුද කියන කාරණාව. ගම්මන්පිල ඇමතිතුමාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවලා ආණ්ඩුව ගෙදර යැවීමේ ප්‍රධානතම පියවර ඉදිරියට තබමු.”

මේ අතර පොහොර ලබා දෙන ලෙසට හා ධීවරයින් මුහුණ පා සිටින ගැටලුවලට විසඳුම් ඉල්ලා ඊයේ (18) රාත්‍රියේ දිවයිනේ ස්ථාන කිහිපයක දී උද්ඝෝෂණ සංවිධාන කර තිබුණි