ආසාදිත කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ප්‍රකාශිත ආසාදිතයින්ගේ ප්‍රමාණයට වඩා හතර ගුණයකටත් වැඩි බව, වංචා කර සඟවන ලද සංඛ්‍යා ලේඛන ඔසේ පැහැදිලි වන්නේ යැයි හිටපු අමාත්‍ය, සජබයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා.

ඒ, වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ අදහස් පළ කිරීම සඳහා අද (20) කැඳවූ මාධ්‍ය හමුව අමතමින්.

අදාල නිලධාරීන්ට සිදුවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාපොච්ඡාරණය කළ පොලිස් නිලධාරීන්ට සිදුවූ දෙයම බවයි ඒ මහතා පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

” අද ලංකාවේ දස ලක්ෂයකට මියයන ප්‍රමාණය අනුව ගත්තම ලෝකෙන්ම පළවෙනි ස්ථානයේ පසුවෙනවා. දෙවැනි ස්ථානයේ පසුවෙන්නේ මැලේසියාව. ඒ නිසා මැලේසියානු අගමැතිවරයා ජනතාවගේ විරෝධය මැද්දේ ගෙදර ගියා. මේ කොවිඩ් රෝගීන්ගේ ආසාදිතයින් ප්‍රමාණය ප්‍රකාශිත කරන ආසාදිතයින්ගේ ප්‍රමාණයට වැඩිය හතර ගුණයකටත් වැඩි බව දැන් අපට ඒ හංගපු සංඛ්‍යා ලේඛනවලින් පේනවා. මේ සංඛ්‍යා ලේඛන වංචා කරපු නිලධාරියා කවුරු වුණත් ඔහු කවරාකාරයක නිලයක් දැරුවත් අද අපි දැක්කා පාස්කු ප්‍රහාරයේ ඇතැම් පොලිස් නිලධාරීන් ගිහිල්ලා බෞද්ධ භික්ෂුන්වහන්සේලා හමුවෙලා යම් යම් පාපොච්චාරණයන් කරනවා ඒ වගේ තත්ත්වයන් අනාගතයේදී මේ ඇත්තන්ටත් ඇතිවෙන්න පුළුවන් කියන එක පැහැදිලිව අපි ප්‍රකාශ කරනවා.

ඒ වගේම අපි ස්තූතිවන්ත වෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඒ වෘත්තිය සමිති නායකයන් හා සිවිල් සංවිධානවලට රට වසා දැමුවේ නැත්තම් අපි ලැස්තියි රට ස්වෙච්ඡාවෙන් වසා දමන්න. ඒ වගේම අපිට වාර්තා වෙනවා සතියකට පමණ මේ රට වසා දැමීමේ උත්සහයක් තිබෙන බව. සති දෙකකට පස්සේ පමණ තමයි ඒ රෝගියෙකුට තව කෙනෙකුට රෝගය බෝ කරන්න බැරි තත්ත්වයක් උදා වෙන්නේ. රට වසා දමනවා නම් අනිවාර්යෙන්ම ඒක සති දෙ‍කේ ඒකකවලින් කළ යුතුයි. ඒ නිසා එය නොතකා හැරීමෙන් අද මේ සිදු කරන ඝාතනවල වගකීම අනිවාර්යෙන් ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවට භාර වෙන බව පමණක් අපි තරයේ ප්‍රකාශ කරනවා.

විවිධ තැන්වල රජයේ සේවකයින්ට තර්ජනය කරලා අපි දෙන්නේ පඩි භාගයයි රට වැහුවොත් ආදී වශයෙන් තර්ජනවලට තවදුරටත් මේක කරගෙන යන්න බැහැ. ප්‍රේතයෝ කුම්භාණ්ඩයෝ යක්ෂයෝ යක්දෙස්සෝ කට්ටඩි වට කරගත්ත යාග හෝම කරන පාලක පන්තියක් ඉන්නේ. ඒ නිසා දැන්වත් අපි අපේ නායක ස්වාමින්වහන්සේලාගෙන් ඉල්ලනවා මේ රට දැන්වත් තුන් සරණය තියන තැනක් බවට මේ රට පත් කරන්න කියලා”