මරණ දඩුවම නියමවී සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් යළි ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ තමන්ට ලබා දී ඇති මරණ දඩුවම ජීවිතාන්ත සිර දඩුවමක් දක්වා ලිහිල් කරන ලෙස ඉල්ලමින්.

වැලිකඩ  බන්ධනාගාරයේ වහලය මත ආහාර වර්ජනයෙ නිරත රැඳවියන් අතර සේයා දැරිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයා ද සිටින බව වාර්තා වනවා. ඔහු නිලධාරීන් වෙත  පවසා ඇත්තේ මරණ දඬුවම නියම වී සිටින තමන්ට හිමි දඬුවම ජීවිතාන්ත සිර දඬුවම දක්වා ලිහිල් කළ යුතු බවයි. එම සහනය ලැබෙන තෙක් තමන් වහලය මත සිටින බවත් ඔහු පවසා තිබෙනවා.

මේ වනවිට රැඳවියන් 25 දෙනෙකුට ආසන්න රැඳවියන් පිරිසක් වහලය මත නැග සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ . ඉන් වැඩි පිරිසක් මරණ දඬුවමට ලක්ව සිටින අය බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ අතර කතා බහට ලක්වු ප්‍රසිද්ධ නඩු තීන්දු කිහිපයකින් මරණ දඬුවම නියම වු පිරිසක් ද සිටින බවද  වැඩිදුරටත් වාර්තා වනවා.

මේ අතර මහර බන්ධනාගාරයේ රැදවියන් පිරිසක්ද මේ වන විට ආහාර වර්ජනයක නිරතව සිටින බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළා.