චීනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සැමරුමට සුබපතමින් ශ්‍රී ලංකා රජය විසින් රුපියල් 1000ක වටිනාකමකින් යුක්ත නව කාසියක් නිකුත් කර තිබේ.

මෙම රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

දෙරට අතර දිගු මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සබඳතාවට විශේෂ ගෞරවයක් ලෙස මෙම සමරු කාසිය නිකුත් කෙරිණ. කාසියේ එක් පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම කාසිය මධ්‍යයේ දැක්වේ.

එහි 2022 යන්න රඟහලට පහළින් විශාල ඉලක්කමින් දක්වා ඇත. කාසියේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකාව – චීනය වසර 65යි” යනුවෙන් සටහන් කර ඇත. කාසියේ අනෙක් පස රුපියල් දහස සහ “චීන කොමියුනිස්ට් පක්ෂය” යනුවෙන් භාෂාත්‍රයෙන් සඳහන් වේ. රන් සමරු කාසි 500ක් සහ රීදි සමරු කාසි 2000ක් නිකුත් කළ බව මහ බැංකුව නිවේදනය කරයි.