හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇමති ධූරයක දිවුරුම් දීමෙන් පසු, පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිතව ඇතැයි දැන ගන්නට ඇත.

බැසිල් රාජපක්ෂ 9 වන දා පාර්ලිමේන්තුවට රැස් වූ පසු, කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව ඇත. 

මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දුන් පසු, බැසිල් රාජපක්ෂ වෙත ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුනක් වෙන් කෙරෙන බව වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු පැවසීය. 

මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින්, එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බැවින්, එම පුරප්පාඩුව පිරවීම සඳහා නාම යෝජනා ලබා දෙන ලෙස ඊයේ උදේ දැනුම්දී ඇති අතර අදාළ පුරප්පාඩුව සඳහා බැසිල් රෝහණ රාජපක්ෂ පත් කරන ලෙස එම ලිපියට පිළිතුරු වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේම දැනුම් දී තිබිණි. 

මන්ත්‍රී ධූරයට බැසිල් රාජපක්ෂ පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (ජූලි 7) රැස්වීමට නියමිතය. 

බැසිල් රෝහණ රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩුව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්කර ඇති බවට, අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතව ඇත. 

මැතිවරණ කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ඇමති ධූරයක දිවුරුම් දීමේදී, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමේ බාධාවක් නොමැති බව ද වාර්තා වේ.