එල්.ටී.ටී.ඊ. රැඳවියන්ට සමාව ලබාදීමට රජය පියවර ගන්නේ නම්, තමන්ට ද නිදහස ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන් ‍දොළොස් දෙනකු පමණ ඊයේ (සැප්. 20) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරියක වහලයක් මතට නැග විරෝධතාවක නිරත තිබේ.

චැපල් වාට්ටුවේ රඳවා සිටින සිරකරුවන් පිරිසක් ඊයේ පස්වරු 2.00ට පමණ එසේ විරෝධතාවයේ නිරතව ඇති බවත් මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් පිරිසක් ද එම විරෝධතාකරුවන්ට සහාය දක්වමින් ආහාර වර්ජනයක නිරතව ඇති බවත් බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.

සිද්ධිය සැළවූ පසු බන්ධනාගාර මෙහෙයුම් කොමසාරිස් තුසිත උඩුවර මහතා විරෝධතාවයේ නිරතව සිටින රැඳවියන් වෙතට ගොස් කරුණු කාරණා පහදා දී විරෝධතාව අවසන් කරන ලෙස දන්වා ඇති නමුත් එම විරෝධතාව අතහැරීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව ද එම  ප්‍රකාශකයා කීය. 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා අනුරාධපුර බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවකදී එල්.ටී.ටී.ඊ. රැඳවියන්ට සමාව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පැවසූ බව කියන සිද්ධියකින් පසු ඔවුන් එසේ විරෝධතාවේ නිරතව සිටින බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. 

පසුගිය කාලය තුළ ඇතැම් සිරකරුවන්ට නිදහස ලබාදීමට අවශ්‍ය පියවර ගත්තා සේම තමන්ට ද නිදහස ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම සිරකරුවන් සිය විරෝධතාව ආරම්භ කර ඇති බ වද මේ පිළිබඳව ‘මව්බිම’ කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.