කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතේ නිදහස් අධ්‍යාපන අයිතියට බාධා වන බවට පෙන්වා දී ඇති ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සංශෝධන පිළිගැනීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බව බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේය. එය 06 වන දා ඡන්ද විමසීමට ඉදිරිපත් නොකරන බවට තීරණය කෙරුණු බවක් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කර නැත.

පනත සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මන්ත්‍රී කණ්ඩායම අතර ඇතිවූ පරස්පර අදහස් හේතුවෙන් පනත මේ මස 06 වන දා පාර්ලිමේන්තු ඡන්ද විමසීමට ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී ඇත.

ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පනතට විරුද්ධව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙන්ම හවුල්කාර පක්ෂවල මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ද අදහස් පළ කර ඇති බව ද ඒ හේතුවෙන් පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත්කර, එහි තීරණය එනතෙක් පනත ඉදිරිපත් නොකර සිටීමට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව ද පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබිණි.

මේ වන විට රජයේ හවුල්කාර පක්ෂ වන ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්තවාදී වාමාංශික පෙරමුණ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙම පනතට එකඟ විය නොහැකි බව ප්‍රකාශ කොට ඇත.

කෙසේ නමුත් මෙම පනතට විරෝධය පළ කරන දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංවිධාන , වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයින් සහ කලාකරුවන් දැඩි ලෙස කියා සිටින්නේ මෙම පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීම වෙනුවට මෙම පනත මුළුමනින්ම ඉවත දැමීමට බල කළ යුතු බවයි.

අධ්‍යාපනයට අතපෙවීමට මිලිටරියට ඉඩ දෙන උත්සාහය මුළුමනින්ම පරාජය කිරීම වෙනුවෙන් ඔවුන් ගෙන යන අරගලය අත්නොහැර ඉදිරියට ගෙන යන බව ඔවුහු ප්‍රකාශ කරති.