දිනක් භාවිත කර ඉවත දමන සර්ජිකල් මාස්ක් යනුවෙන් හඳුන්වන මාස්ක් එකක් රුපියල් 40 බැගින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මිලදී ගෙන ඇතැයි එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් හුවමාරු වූ ඉන්වොයිස් අනුව අනාවරණය වේ.
මේ ආකාරයට එකක් රුපියල් 40ක මිලට වරාය අධිකාරිය මාස්ක් මිලදී ගෙන ඇත්තේ පීජේ ෆාමා කෙයා පෞද්ගලික සමාගමෙනි. මෙම මිලදී ගැනීමට අදාළව හුවමාරු වූ ඉන්වොයිස්වල එම සමාගමේ ලිපිනයක් සඳහන්ව නැතත් සමාගමක් ලෙස පීවී 110727 යටතේ ලියාපදිංචි බව සඳහන් කර ඇත.

කොවිඩ් වසංගතය පැමිණීමෙන් පසු වරාය සේවකයන්ගේ භාවිතය සඳහා මෙම මාස්ක් මිලදී ගැනීම සිදුකර ඇති අතර අපගේ වරාය අධිකාරිය මූලාශ්‍ර තහවුරු කරන්නේ මේ වනවිට මාස්ක් එකක් රුපියල් 40 බැගින් රුපියල් කෝටි 5ක පමණ මාස්ක් මිලදී ගෙන ඇති බවයි.

රජයේ රෝහල් පද්ධතිය සඳහා අවශ්‍ය දිනක් භාවිත කර ඉවත දමන මාස්ක් එකක් මිලදී ගන්නේ රුපියල් 7ක පමණ මිලකට බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාස්ක් මිලදී ගැනීම් සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස සඳහන්වන සරත් කුමාර ප්‍රේමචන්ද්‍රගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ජුනි 21 දින සිට ඔහු එම ධුරයේ කටයුතු නොකරන බැවින් පිළිතුරු දිය නොහැකි බවය.

උපුටා ගැනීම – අනිද්දා පුවත්පත