සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ජාවාරම්කරුවන් හිතා මතා සහල් හිඟයක් ඇති කිරීමට කටයුතු කළහොත් ඊට විකල්පයක් ලෙස මෙසේ කිරීමට බලාපොරොත්තු වන බවයි වී මිල, සහල් මිල සහ ජීවන වියදම පාලනය සඳහා රජයේ ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (04) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේ.

වී අලෙවි මණ්ඩලය හෝ මෝල් හිමියන් හැර වෙනත් ජාවාරම්කරුවන් ගොවීන්ගෙන් වී මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමේ අරමුණින් වී ගබඩා කර තබා ගතහොත් එවැනි වී තොග රාජ සන්තක කිරීමට අවශ්‍ය නීතිය සම්මත කරන බවද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජය නියම කර ඇති උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අලෙවිකරන්නන් හට පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ නියම කෙරෙන රුපියල් 2500 දඩ මුදල රුපියල් 100,000 දක්වා වැඩි කරන බවත් පාරිභෝගිකයින් සහ ගොවීන් ආරක්ෂා කිරීම සඳහා වී මිලදී ගැනීම පිණිස අවම මිලක් ද සහල් අළෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් ද රජය නියම කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.