ඉන්ධන මිල ඉහළ යෑමට සමගාමීව සිය ප්‍රවාහන ගාස්තු ද එළඹෙන ජුලි 01 වැනිදා සිට 15% කින් ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි (බවුසර්) හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

පසුගිය ජුනි 25 වැනිදා මෙම ගාස්තු ඉහළ නැංවීමට ඉඩදීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ විෂයභාර ඇමැති උදය ගම්මන්පිල දැනුවත් කළ බව ද එම සංගමය පවසයි.

මෑතකදී සිදු කළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ප්‍රවාහන ‘ගාස්තු සූත්‍රයද’ වෙනස් කරන ලෙස එහිදී ඉල්ලා සිටි බව බවුසර් සංගමය පෙන්වා දෙයි.

මෙලෙස ප්‍රවාහන වියදම් ඉහළ යෑම යනු ඩීසල් මිල ඉහළ යෑම හේතුවෙන් බවුසර් හිමියන්ට කිලෝ මීටරයක් වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැයයි.

මෙම ප්‍රවාහන මිල සූත්‍රයට අනුව ලීටර් 13,200 ක ප්‍රමාණයේ බවුසරයක් හැසිරවීම සඳහා කිලෝ මීටරයකට ප්‍රවාහන වියදම රුපියල් 18.83 කි. ලීටර් 19,000 ක බවුසරයක හැසිරවීමේ ගාස්තුව කිලෝ මීටරයකට රුපියල් 28 කි.