ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය මේ කුමන නමකින් ඉදිරිපත් වුව ද ඒ සියල්ල ම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් වන බැවින් එයට කොන්දේසි විරහිතව එරෙහිවීම වගකිව යුතු සමාජයක වගකීම වන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

අමාත්‍යවරිය සඳහන් කරන්නේ, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් හුදු විරෝධය පෑමකට එහා ගිය නීතිය දැඩිව ක්‍රියාත්මක කරවීමට බල කෙරෙන සංවිධානාත්මක වැඩපිළිවෙලක් අවශ්‍ය බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ වයස අවුරුදු 16ක දැරියක මෙහෙකාර සේවයේ යොදවමින්, අපයෝජනයකට ලක්කර පිළිස්සුම් තුවාල ලබා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය සංවේගය සහ කණස්සල්ල පළ කර නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබේ.

අමාත්‍යවරිය පවසන්නේ අපරාධකරුවා, චූදිතයා කුමන තරාතිරමක අයෙකු වුව ද වින්දිතයා වන්නේ දරුවන් බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී වගකීමෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවය.

පසුගිය කාලය පුරා ම දරුවන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රවෘත්ති අසන්නට දකින්නට ලැබීම සුලබව සිදු වූ බවත් එවැනි අවස්ථාවල එක් එක් සිද්ධිය මුල් කරගෙන ඊට අදාළ විරෝධය පෑමකට යොමු වූවා විනා නැවත වතාවක් දරුවන් එවැනි ඉරණමකට ගොදුරු වීම වළකාලීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට ක්‍රමවත් සංවාදයක්, සාකච්ඡාවක් ඇති නොවූ බව අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය හරහා දරුවන් තුළ දැඩි මානසික ව්‍යාධියකට මෙන් ම දිගු කාලීන ශාරීරික ආබාධවලට ලක් විය හැකි වටපිටාවක් නිරන්තරයෙන් නිර්මාණය වන අතර එය නැවත වතාවක් සමාජයට ම පාරාවළල්ලක් වන තත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බව අමාත්‍යවරිය සිහිපත් කර තිබේ.

“ඇතැමුන් සිතන ආකාරයට ගැහැණු දරුවන් අපයෝජනයට ලක්කිරීම, කාන්තාවන්ට හිරිහැර කිරීම ආදිය පිළිබදව මුලින් ම විරුද්ධත්වය පළ කළ යුත්තේ කාන්තාවන් බවට සමාජ මතයක් ගොඩනැගෙමින් පවතින බවත්” එය ඛේදනීය තත්වයක් බැවින් සමස්ත සමාජය ම එවැනි කාරණා වලදී ඉදිරියට පැමිණිය යුතු බවත් අමාත්‍යවරිය සඳහන් කර ඇත.  

අමාත්‍යවරිය පවසන්නේ, ළමා අපචාර, ළමා හිංසනය, කාන්තා හිංසනය යනාදිය සමාජයක පිරිහීම පෙන්නුම් කෙරෙන තත්ත්වයන් බවය. 

එවැනි තත්ත්වයන් මගහරවා ගැනීමට කාන්තාවන් පමණක් නොව සැවොම එක්ව කටයුතු කිරීම වැදගත් බව පවසන අමාත්‍යවරිය, මියගිය හිෂාලිනී ජූඩ් කුමාර් දියණියට යුක්තිය කඩිනමින් ඉටුවීම තවත් එවැනි දියණියන් ආරක්ෂා වීමට හේතුවක් විය හැකි බව තමන් විශ්වාස කරන බවත් සඳහන් කර තිබේ.