නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පොදුජන ජීවිතය හා මහජන සෞඛ්‍ය දැඩි අවදානමක හෙළමින් උද්ඝෝෂණ සිදු කිරීම පිළිබඳව අද (24) යුක්තිය උදෙසා ජනතාව යන සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ලංකා ගුරු සේවා සංගමය , ලංකා ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තිය සමිති කිහිපයක් ඒකාබද්ධව සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියමයන් දැඩි ලෙස උල්ලංඝනය කරමින්, කොවිඩ් 19 වෛරසය හමුවේ අවදානමකට ලක්ව ඇති මෙම කාලය තුළ මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග කඩාකප්පල් කරමින් නීති විරෝධි ජන රාශියක් ලෙස එකතු වී කළ මෙම ක්‍රියාකලාපය තුළින් ලංකාවේ දැඩි ලෙස කොවිඩ් ව්‍යාප්තිය අවදානමක් මේ වන පැන නැගී ඇතැයිද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම නීති විරෝධි උද්ඝෝෂණය මගින් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262, 263 වගන්තිය අනුව මනුෂ්‍ය ජීවිතයට අන්තරාදායක වූ යම් රෝගයක් පැතිර විය හැකි වුවද එලෙස පැතිර විය හැකි බව විශ්වාස කිරීමට කරුණු තිබෙන්නා වූ යම් ක්‍රියාවක් නීති විරෝධීව හෝ නොසැලකිලිමත්ව කර ඇති බවද, යම් ක්‍රියාවක් ද්වේශසහගතව කර ඇති බැවින්ද, එමෙන්ම නිරෝධායන පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බැවින්ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති සියලු මාර්ගෝපදේශයන් මෙම උද්ඝෝෂණයෙන් උල්ලංඝනය කර ඇති බැවින්ද , උද්ඝෝෂණය සංවිධානය කර නායකත්වය දුන් පිරිසට සහ ඊට සම්බන්ධ වූ සාමාජිකයන්ට එරෙහිව දැඩි නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ඉල්ලා යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ සභාපති ඩිල්ෂාන් ගමගේ අත්සනින් යුතුව නීතිඥ මදුරංග විජේරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙත පැමිණීලි කර ඇති අතර මේ සඳහා යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ ලේකම් තරිඳු රොද්‍රිගෝ, ජාතික සංවිධායක ආර්.එම් කුමාර යන අය සහභාගි වූහ.