බාල වයස්කාර දරු දැරියන් මෙහෙකාර සේවයට ලබා දෙන තැරැව්කරුවන් සහ මෙහෙකාර සේවයේ යොදා ගෙන සිටින පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට උපදෙස් දී ඇති බව අද (25) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී සඳහන් කෙරුණා.

ඒ ඉරිදා පුවත්පතක පළ වූ පුවතක් උපුටා ගනිමින්.

බාල වයස්කාර දරු දැරියන් මෙහෙකාර සේවයට ලබා දෙන පුද්ගලයන් සෙවීම සඳහා වහාම මෙහෙයුමක් ආරම්භ කරන ලෙස තමා අමාත්‍යවරයාට දැනුම් දුන් බව අගමැතිවරයා එම පුවත්පතට සඳහන් කර තිබුණා.

මෙවැනි දරු දැරියන් මෙහෙකාර සේවයට යොදා ගෙන සිටින බහුතරය ප්‍රභූ පැළැන්තියේ පවුල් බවත් ඔවුන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා ලෙසත් අගමැතිවරයා දැනුම්දී ඇති බවට පුවත්පත වාර්තා කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි දැරියක් මිය යාමත් සමග ළමා මෙහෙකාර සේවයේ යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් සමාජයේ නිර්මාණය වී අවසන්.