ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපානු ලබන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයත් නල පද්ධතියත් එයට ගෑස් සැපයුමත් ගබඩා සංකීර්ණයත් මුළුමනින්ම ඇමරිකානු එක්සත් ජනපද සමාගමක් වෙත පවරා දීම සඳහා උත්සාහයක් තිබෙන බව අනුර කුමාර දිසානායක පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක ,

මේ පැත්තෙන් කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයත් නල පද්ධතියත් එයට ගෑස් සැපයුමත් ගබඩා සංකීර්ණයත් මුළුමනින්ම ඇමරිකානු එක්සත් ජනපද සමාගමක් වෙත පවරා දීම සඳහා උත්සාහයක් තිබෙනවා. මුදල් අමාත්‍යවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ ඒ අනුවයි. මුදල් අමාත්‍යාංහයේ ලේකම්වරයා, මෙම ෆෝට්ට්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගම සමග මේ ගිවිසුම අත්සන් කොට තිබෙන්නේ ඒ අනුවයි. අප වැනි රටක විශාල බලශක්ති වෙළඳපොළක් නැති බව අපි දන්නවා. ඒ නිසා අද බලශක්තිය අත්පත් කර ගන්නා තැනැත්තා හෙට අප රට පාලනය කිරීමේ බලය ලබා ගන්නවා. එහි වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ විදුලි බලයයි. කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මෙගා වොට් 300ක බලාගාරයක්. එය ඉදිකර තිබෙන්නේ ස්වභාවික ගෑස් සඳහා පරිවර්තනය කළ හැකි ආකාරයටයි. එහි අයිතිය තිබෙන්නේ මුළුමනින්ම රාජ්‍ය සමාගම් සතුවයි. 50%කට අධික කොටස් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය සතු වනවා. තවත් කොටස් ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලටත් තවත් ප්‍රමාණයක් රජය සතු ලෙකෝ සමාගමට තිබෙනවා. තවත් ප්‍රමාණයක් රජය සතු එල්ටීඑල් සමාගම සතුව තිබෙනවා.

සාමාන්‍යයෙන් ඕනෑම කැබිනට් පත්‍රිකාවක් සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වන්නේ නම් අවම වශයෙන් සිකුරාදා වන විටවත් ඇමතිවරුන් අතට කැබිනට් පත්‍රිකා ලැබෙනවා. කෙසේ වුවත් මේ කැබිනට් පත්‍රිකාව එසේ ලැබුණේ නැහැ. ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට යනවිට මේ පත්‍රිකාව අතිරේක පත්‍රිකාවක් ලෙස මේසය මත තබා තිබුණා. මෙය විදුලි බල විෂයට අයත්. මා දැනගන්න කැමතියි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගෙන්, මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වන බව ඔබ දැනසිටියාද? ඔබව ඒ පිළිබඳව දැනුවත් කර තිබුණාද? මා දන්නා පරිදි නම් ඔහු පවා මේ පත්‍රිකාව දකින්නේ ඊට වාඩි වූවාට පසුවයි. ඕනෑම කැබිනට් පත්‍රිකාවකට, විශේෂයෙන් ඒ විෂයට අදාළ අමාත්‍යවරුන්ට ඊට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබෙනවා. මෙය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ කැබිනට් පත්‍රිකාවක් නිසා විදුලි බල අමාත්‍යවරයාටත්, ඛනිජ තෙල් අමාත්‍යවරයාටත් නිරීක්ෂණ ලබා දීම සඳහා කාලයක් ලබා දුන්නා. ඔවුන් කාලයක් ඉල්ලා තිබුණා. ඒ මොහොතේම ඔවුන්ට නිරීක්ෂණ ලබා දෙන ලෙස කියා තිබෙනවා. මේ කඩිමුඩිය කුමක් සඳහාද? කොළේ වසා ගැසීමේ තේරුම මොකක්ද?