කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව අද (30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මෙහි දී මුදල් අමාත්‍යංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කළේ ය.

රජය ඉතා සාර්ථකව කොවිඩ් පළමු හා දෙවැනි රැල්ල පාලනය කළ බව කී ඒ මහතා සමාජ ආර්ථික බලපෑම් ඇති කරමින් අප්‍රේල් මාසයේ පටන් ඇරඹි තෙවැනි රැල්ලට ද සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන්නේ ය‍.

මුදල් අමාත්‍යංශ දත්තයන්ට අනුව 2020 වර්ෂයේ දී කොවිඩ්-19 පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117ක් වැය කර ඇති අතර 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53ක් වැය කර තිබේ. අදාළ කාලයන් තුළ එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92ක් වැය කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරු වන අජිත් නිවාඩ් කබ්රාල්, ෂෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු වන ආර්.එම්.පී. රත්නායක, නීල් බණ්ඩාර හපුහින්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහ බැංකු අධිපති, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්‍ෂ්මන් ඇතුළු රාජ්‍ය බැංකු හා මුදල් අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.