කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු යම් තොරතුරක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ ආයතනයේ නිලධාරියෙකු  ඊයේ (13) දහවල් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති බවයි.

පැමිණිල්ලට අදාළව කොල්ලුපිටිය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පසුව එම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය භාර ගෙන තිබේ.

පසුව එම විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු මත මහනුවර ප්‍රදේශයේ ස්ථීර පදිංචිය සහිත පනාගොඩ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔහු ගුවන් හමුදාවේ නිලධාරියෙකු ලෙස සේවය කර පසුව ගුවන් හමුදාවෙන් නෙරපූ පුද්ගලයෙකු බවයි.