චීන රජයේ බුද්ධි සේවා භාර නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය Dong Jingwei කොවිඩ් වෛරසයේ ආරම්භය සිදුවූවායැයි සැළකෙන වුහාන් වෛරස් පරීක්ෂණාගාරය සම්බන්ධයෙන් විශේෂ තොරතුරු රැසක් සමඟ එක්සත් ජනපදය වෙත පළාගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ. නමුත් එම මාධ්‍ය වාර්තා මෙතෙක් ඇමරිකාව හෝ චීනය විසින් තහවුරු කර නොමැත.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය Dong Jingwei චීනයේ සිට හොංකොං රාජ්‍ය වෙත පැමිණ එහි සිට එක්සත් ජනපදය කරා පැමිණ ඇති බව එක්සත් ජනපදයේ ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂණය් කරන වෙබ් අඩවියක් වන ස්පයි ටෝක් හෙළිදරව් කර ඇත. ඔහු සමඟ ඔහුගේ දියණියද එක්සත් ජනපදයට පැමිණ ඇති බවද එහි සදහන්.

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොවිඩ් 19 වෛරසය චීනයේ වෛරස් පරීක්ෂණාගාරයකින් නිකුත් වූ ජීව අවියක් බව ප්‍රකාශ කල අවස්ථාවේදී බොහෝ දෙනෙකු එම මතය බැහැර කල අතර වර්තමාන ජනාධිපති ජෝ බයිඩ්න් පසුගිය මාර්තු මාසයේදී මේ සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා විශේෂ කමිටුවක්ද පත් කලා.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ නැවතත් මෙම වෛරසයේ මූලාරම්භය චීනයේ වූහාන් වෛරස් පර්යේෂණාගාරයෙන් සිදුවූ බවට වූ මතය සදහා පිළිගැනීමක් නිර්මාණය වී තිබෙනවා.

ඇමරිකාවට පිවිසියායැයි සැළකෙන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා චීනයේ බුද්ධි සේවා මෙහෙයුම් සහ විදේශ බුද්ධි නිලධාරීන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් භාරව සිටි ඉහළම නිලධාරියා වශයෙන් සැලකේ.