2016 වසරේ මාර්තු මස සිදුවූ බැදුම්කර වෙන්දේසියක දී රජයට අයත් රුපියල් බිලියන 15 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවක් යළි විභාගය සඳහා ජුලි මස 02 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝගකර තිබේ.

ඊට අදාළ නඩුව අද (22) අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු  ලැබීය.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛය ප්‍රකාරව මෙම නඩු විභාග කල් දමා තිබුණි.

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් බිලියන 15 ක මුදලක් පාඩු කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.