අවසන් විගණනයන් සිදුකරන තෙක් වාණිජ බැංකුවල ලාභ (ලාභාංශ) බෙදීම හෝ ප්‍රසිද්ධියට පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇත.

2021 ජුලි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගයට හේතුවී ඇත්තේ කොවිඩ් -19 වසංගතය හේතුවෙන් බැංකුවල ලාභය අඩුවීම පිළිබඳව අනාවරණයවීම රටේ සමස්ත බැංකු පද්ධතියට මෙන්ම වෙනත් දර්ශක කෙරෙහි අහිතකර ලෙස බලපෑමට හේතුවන නිසාය.

ශ්‍රී ලංකා මහ බැංකුව පනවා ඇති මෙම තහනම ඔස්සේ දක්වා ඇත්තේ ‘බාහිර විගණකවරුන් මූල්‍ය ප්‍රකාශ අවසන් කොට විගණනය කරන තෙක් 2021 වර්ෂය සඳහා වූ ලාභාංශ සෙවීම පිළිබඳ අතුරු හෝ පූර්ණ වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා තාවකාලික සීමාවන් පනවා ඇත’ යනුවෙනි.

එසේම ශ්‍රී ලංකාවෙන් බැහැරව ක්‍රියාත්මක වන මෙරට සෑම වාණිජ බැංකුවක්ම 2020 සහ 2021 වර්ෂය සඳහා වූ දැනට ප්‍රකාශයට පත් කර නොමැති ලාභාංශ මෙරටට ගෙන්වා ගැනීමෙන් වැළකී සිටිය යුතු බවද මහ බැංකුව දැනුම් දී ඇත.

මීට අමතරව බැංකුවලට තමන්ගේම කොටස් ආපසු මිලදී ගැනීම සහ අධ්‍යක්ෂ මණ්ඩලවල ‘කළමනාකරණ දීමනා’ ඉහළ දැමීම හා ගෙවීම් වැඩි කිරීමද මහ බැංකුව විසින් තහනම් කර තිබේ. එසේම වෙළෙඳ ප්‍රචාරණය, තෑගි යෝජනා ක්‍රම, විනෝදාශ්වාදය, අනුග්‍රාහකත්වය, සංචාර සහ පුහුණු වැඩසටහන් සඳහා වැය කරන අනවශ්‍ය වියදම්වලදී මෙන්ම ප්‍රාග්ධන වියදම්වලදී විචක්ෂණශීලීව කටයුතු කරන ලෙසද මහ බැංකුව සියලුම බැංකුවලට දැනුම් දී ඇත.