ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, වත්මන් රජය යටතේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වී ඇති බැවින්, එම පදනම මත ආර්ථික වර්ධනය ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරන බවයි. රට හමුවේ ඇති ආර්ථික අභියෝග පිළිබඳව IMF නියෝජිතයින් දැනුවත් කළ අතර, 2026 අයවැයෙන් ජනතාවට සහන සැලසීමේ අවශ්‍යතාවද සිහිපත් කළේය. ආයෝජන හිතකාමී පරිසරයක් හා තීරුබදු සහන ලබා දීම පිළිබඳවද සාකච්ඡා විය.
ජනාධිපතිවරයා, IMF හි සහාය අඛණ්ඩව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ අතර, මෙතෙක් ලබා දුන් සහාය පිළිබඳව ස්තුතිය පළ කරමින්, ආර්ථික වර්ධනයේ ප්රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ශ්‍රී ලංකාව සඳහා දූත මණ්ඩල ප්‍රධානී ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම්, මහ බැංකු අධිපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. IMF නියෝජිතයෝ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය ලබා දීමට එකඟතාව පළ කළහ.
