ගම්පහ ‘පස්’ දැන් රත්නපුරයේ මැණික්වලටත් වඩා ඉල්ලමක් වී තිබෙන ආකාරය දක්නට හැකිය. වාණිජමය වශයෙන් ඉහළ වටිනාකමකින් යුත් කොළඹ හා ගම්පහ ‘ඉඩම්’ ලෙස කුඹුරු හා වගුරු බිම් ගොඩ කරන්නට යොදාගත් පස්වල වටිනාකම තවත් වැඩි වූයේ කොළඹ-නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම ආරම්භයක් සමගය.   


ගම්පහ ‘පස්’ ව්‍යාපාරයක් නොව ජාවාරමක් බවට පත්වන්නේ ‘පස්’ සඳහා වෙනම පාතාලයක් බිහිවීමත් සමගය. දේශපාල‌නඥයින්ගේ රැකවරණ මත පස් ජාවාරමේ සියලු කටයුතු සිදු කළේය. පස් ජාවාරමේ තිබුණු සල්ලි ඉල්ලම නිසාම පස් පාතාලය ද දෙකඩ වී ඔවුනොවුන් මරා ගැනීම ආරම්භ වූයේ 2003 වසරේ නොවැම්බර් 13 වැනි දින සිදු වූ මහා පරිමාණ පස් ජාවාරම්කරුවකු වූ ‘කළු ගාමිණී’ගේ මරණයෙනි. තවත් පස් ජාවාරම්කරුවකු වූ පාතාලයේ ‘අසිත’ගේ පාර්ශ්වය විසින් එම ඝාතනය සිදු කළේය. එදා සිට මේ දක්වා පස් ජාවාරම නිසා 43 දෙනකු ඝාතනයට ලක්ව ඇති අතර, ඉන් ආසන්නතම මරණය වාර්තා වූයේ 2018 පෙබරවාරි 6 වැනි දින කෙහෙල්බද්දර පදිංචිකරුවකු වූ 65 හැවිරිදි නෙවිල් පෙරේරාය. ඔහු පස් ජාවාරමට සම්බන්ධ අයකු නොවූ නමුත් ඔහුගේ පුත්‍රයකු පස් කැපීමට සම්බන්ධ නිසා මෙම ඝාතනය සිදුකර ඇති බවත් හෙළි විය.   පස් කැපීම නිසා ජලපෝෂක කඳු පන්ති කපා විනාශ කර දමා මෙරට සිදු වූ විශාලතම පරිසර හානිය සිදුව ඇත්තේ මිනුවන්ගොඩටය. අද වනවිට එම ප්‍රදේශ තුළ පස් කැපීම අවම වී ඇත්තේ පස් කපන්නට ස්ථානයක් පවා සොයා ගන්නට අපහසු වීම නිසාය. 

දේශපාලඥයකුට අයත් දිවුලපිටියේ පස් කපන ස්ථානයක්

පස් පාතාලයෙන් පස් ජාවාරම ක්‍රමයෙන් ගිලිහී යද්දී එය දේශපාලනඥයින්ගේ අතට පත්වන්නේ පස් සඳහා ගෙවනු ලබන ඉහළ මිලත් සමගය. කොළඹ-මහනුවර අධිවේගී මාර්ගයට අවශ්‍ය කරන පස් කියුබික් මීටර් බිලියන ගණනත් සමග දේශපාලනඥයාගේ වඩා අවධානය යොමු වන්නේ ‘පස් ජාවාරම’ටය. පසුගිය කාලයේදී වැලි මිලටත් වඩා වේගයෙන් පස් මිල ඉහළ ගියේය. 2010 වර්ෂයේදී තම නිවසේ අවශ්‍යතාවකට ගම්බද ජනතාව සැපැයුම්කරුවකුගෙන් පස් කියුබ් එකක් මිලට ගත්තේ රුපියල් 1,500කටය. දැන් ගම්බද ප්‍රදේශවල කියුබයක මිල රුපියල් 5,000කි. අධිවේගී මාර්ග සඳහා තොග වශයෙන් අද වනවිට මිලට ගන්නේ පස් කියුබ් එකක් 3,500ත් 4,000ත් අතර මිලකටය. ඒ අනුව පස් කියුබ් 3.5ක් අඩංගු ටිපර් රථයක පස් සඳහා අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මගින් රුපියල් දසදහසක්-පහළොස්දහසක් අතර මිලක් සැපැයුම්කරුවන්ට ගෙවයි. කොළඹ-නුවර අධිවේගී මාර්ගයේ එක් අදියරක් සඳහා පස් කියුබික් මීටර් බිලියන අටක් පමණ අවශ්‍ය බව පැවැසෙන අතර, පස් සඳහා පමණක් වෙන් කර ඇති මුදල පිළිබඳව ඔබට සිතාගත හැකිය.   


පස් ජාවාරම මිනුවන්ගොඩ සිට දිවුලපිටියටත්, එතැනින් මීරිගමටත් පැතිරෙන්නේ දේශපාලන බල මහිමයේ පිහිටෙනි. මිනුවන්ගොඩට පසුව දැවැන්තම පස් කැපීම වාර්තා වන්නේ දිවුලපිටියෙනි. පසුව එය මීරිගමට ද පැතිර ගියේය. මේ පස් ජාවාරම පිටුපස සිටින්​නේ රජය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකි. තම ඥාතීන් හා හිතවතුන්ගේ නමින් අවසරපත ලබාගෙන දේශපාලනඥයා විසින් මහා පරිමාණ පස් ජාවාරම ක්‍රියාත්මක කරනු ලබයි.   


රජයක් විසින් සිදුකරනු ලබන අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘති රටට අත්‍යවශ්‍යය. කොරෝනා වසංගතය මැද වුව ද රටේ සංවර්ධනය නවතාලිය නොහැකිය. එහෙත් සංවර්ධනයට මුවා වී සිදුකරනු ලබන ජනතා මුදල් ගසාකෑම් අනුමත කළ නොහැකිය. 


කොළඹ-මහනුවර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා වූ අදියරෙහි වැඩි දුරක් කණු මතින් ඉදිවන බව මුලින් ප්‍රකාශ වුව ද දැන් සූදානම් වන්​නේ වැඩි ප්‍රමාණයක් පොළොව මට්ටමින් ඉදිකිරීමය. කණු මතින් ඉදිකිරීම වෙනුවට එම ක්‍රමය ලාබදායි වුව ද පොළොව ගොඩ කිරීම සඳහා අවශ්‍ය වන පස් තොගය හා ඊට යන වියදම සලකා බැලූ විට සැලකිය යුතු ලාබයක් ලැබේදැයි සැක සිතෙන තරම්ය. ඊටත් වඩා සැකයට තුඩුදෙන කාරණය වන්නේ පස්වලින් තමන්ට ලැබෙන ලාබය ගැන සිතා උඩින් යන්ට ගිය අධිවේගය පහළින් ගමන් කළේ කාගේ වුවමනාවට ද යන්නයි.   

අධිවේගී මාර්ගය ඉදිකිරීම් සඳහා පහසුකම් සපයන යටිතල මාර්ගය ඉදිකිරීම සඳහා විශාල පස් තොගයක් බිමට එළා ඇති අතර, ඊට අමතරව අඩි 10-15 පමණ උස පස් කඳු ගම්පහ සිට මීරිගම දක්වා වූ කොටසේ තැනින් තැන ගොඩගසා තිබෙනු දක්නට ලැබේ. ඒවා බොහෝවිට ගොඩගසා ඇත්තේ වෙල්යායවලය. නැති නම් වගුරු බිම්වලය. වර්ෂා ජලය ගලා යෑම අවහිර වීම නිසා පසුගිය දිනවල ගම්පහ මෙන්ම මෙම ප්‍රදේශවල නිවාස රැසක් ගංවතුරට හසුවිය. ගංවතුර නිවසට පැමිණ දින ගණනාවක් ගියත් බැස නොගියේ ජලය බැස යන ස්වාභාවික බිම් පස් කඳු නිසා අවහිර වීම නිසාය. එම නිසා සෑම වර්ෂා කාලයේදීම මෙම ගැටලුව ඇති වී වින්දිතයන්ට වන්දි ගෙවිම් වැනි දෑ සලකා බැලූ විට කණු මතින් ඉදිවන්නට තිබූ අධිවේගය පහළට ගෙන ඒමෙන් වාසියක් වනු ඇත්දැයි දෙවරක් සිතා බැලිය යුතුය.   


මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් මේ වනවිට පස් කැපීමේ ස්ථාන සියයකට වැඩි ගණනක් ඇති අතර තවත් ස්ථාන සිය ගණනක් සඳහා අවසර ඉල්ලා තිබේ. වැඩිම පස් කැපීමේ ස්ථාන පිහිටා ඇත්තේ මීරිගම-කණ්ඩලම සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව මායිම දක්වාය. මීරිගම පස් කැපීමේ ආදීනව කෙතරම් ද යත් දැනටමත් පානීය ජල මූලාශ්‍ර සිඳී ගිය ග්‍රාම නිලධාරි වසම් 42කට පමණ බවුසර් මගින් පානීය ජලය ලබා දේ.   


පස් ජාවාරම පස් ජාවාරම්කරුට පමණක් නොව ඉදිකිරීම් ​​​ක්‍ෂේත්‍රයේ සිටින බොහෝ දෙනාගේ සාක්කු පිරෙන ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. ඒ සියල්ලන් සඳහාම සැලකිය යුතු මුදලක් පස් ජාවාරම්කරුගෙන් ලැබෙයි. පස් කැපීම සඳහා අවසර ගත යුතු නියාමන ආයතනයේ නිලධාරියාගේ සිටම මෙම මුදල බෙදේ. දිනකට කැපිය යුතු පස් ටිපර් ගණන හා පොළොව හෑරිය යුතු අඩි ගණන අවසර පත්‍රයේ සඳහන් වුව ද ඒ පිළිබඳ කිසිදු නියාමනයක් නැත.   


අධිවේගී මාර්ගය සඳහා කුඹුරු ඉඩම් ගොඩ කිරීමේදී අධිවේගයේ පිහිටෙන් තමන්ගේ කුඹුරු ගොඩ කරගෙන ගොඩ ගිය පිරිස් ද සිටිති. දැන් සමහරුන් ඒවා ගොඩ ඉඩම් ලෙස විකිණීමට ද සූදානම්ය. ගෙන එනු ලබන පස් ටිපර් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක පස් සඳහන් බිලක් අනුමත කර දෙන්නේ නම් අමතර මුදල ඒ නිලධාරියාටය. එම මුදල පස් කියුබ් 100කට නම් රුපියල් ලක්‍ෂ හතර ද ඉක්ම වූ මුදලකි. ප්‍රදේශයේ දේශපාලනඥයාට කියුබ් එකකින් රුපියල් පන්සියයක මුදලක් හිමිවන බව කියවේ. ප්‍රාදේශීය දේශපාලනඥයාට කියුබ් එකකට රුපියල් 100ක් හා ප්‍රදේශය භාර පරිපාලන නිලධාරියාට ද රුපියල් 100ක් හා පස් ප්‍රවාහනය මහාමාර්ගයේ නියාමනය කරන අංශවලට ද පස් කියුබයකින් යම් මුදලක් සන්තෝෂම් මුදලක් ලෙස ලබාදෙන බව පැවැසේ.   
2003 වසර වනතෙක් පස් ප්‍රවාහනය සඳහා අවසර පත්‍රයක් අවශ්‍ය නොවූ අතර, එම කාලයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ මහා පරිමාණ පස් ජාවාරමට එරෙහිව කෙහෙල්බද්දර ප්‍රදේශයේ පරිසර හිතවාදීන් පිරිසක් ගම්පහ දිසා අධිකරණයේ නඩුවක් පැවැරූ අතර, 2002 මාර්තු 5 දින අධිකරණය තීන්දුව ප්‍රකාශ කළේ පැමිණිලිකරුවන්ට ජය අත්කර දෙමිනි. 53059/02/පී.සී. අංක දරන එම නඩු තීන්දුවට අනුව අවසර නොමැතිව පස් ප්‍රවාහනය කිරීම තහනම් විය. පස් ප්‍රවාහන නීතියට පනතක් පාර්ලිමේන්තුවේදී ගෙන ආවේ 2003 දී පමණ ඒ නඩු තීන්දුවට අනුවය. නමුත් වත්මන් රජය මගින් පස් ප්‍රවාහනය යළිත් නිදහස් කළේය.  
වත්මන් රජයේ ස්ථාවරය වූයේ යම් අයකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් වේ නම් ග්‍රාම නිලධාරිගේ අවසරය ඇතිව පස් කියුබ් 35ක් කපා ප්‍රවාහනය කරගත හැකි බවය. ජනතාව ගැන සිතා රජය ඒ තීරණය ගත්තත් එම නීතියෙන් ද අද ප්‍රයෝජන ගන්නේ ජාවාරම්කරුවාය. විවිධ අයගේ වුවමනාවන් සඳහන් කරමින් ඒ අවසරය ද අද ඔවුහු අපයෝජනය කරමින් සිටිති.   


මේ සියලු අකටයුතුකම් සිදුවන්නේ මේ කටයුතු නියාමනය සිදු කිරීමට වගකීම ඇති රාජ්‍ය නියාමන ආයතන හා පරිසරය භාර ඇමැතිවරයාගේ ඇස් වසමිණි. පස් කැපීමට සුදුසු ස්ථාන හඳුනා ගැනීමත්, පස් කැපීමට නුසුදුසු ස්ථානවල පස් කැපීමට අවසර නොදීමත්, පස් කපන ලද ස්ථාන පුනරුත්ථාපනය කිරීමත් ඔවුන්ට අයත් කාර්යයකි. එසේ සිදු නොකොට ඔවුන් ද පස් ජාවාරමේම කොටස්කරුවන් වේ නම් අපේ පරිසරයට දෙවියන්ගේම පිහිටය.

සටහන හා ඡායාරූප
දොම්පේ අජිත් මදුරප්පෙරුම