මධ්‍යම අධිවේග මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ මධ්‍යම අධිවේග මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ තාවකාලිකව නතර වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවය.

මධ්‍යම අධිවේග මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු හේතුවෙන් පසුගියදා පැවති අධික වර්ෂාවෙන් ගම්පහ නගරය සහ අවට ප්‍රදේශ ගංවතුරෙන් යටවු බවට වාර්තා පළවිය.

ඒ සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් සිදුකළ බව මහාමාර්ග අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එහිදී ගම්පහ නගරයත් ඒ අවට ප්‍රදේශයන් ජලයෙන් යටවීම පිළිබඳ දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි.

එහිදී මතුවූ කරුණු මත ඉතා කෙටි කාලයකදී මිලිමීටර් 300කට අධික වර්ෂාපතනයත් පැවතීමත් ප්‍රදේශයේ ජලය බැසයෑම සඳහා ඇති කාණු පද්ධති සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීමත් දුම්රිය මාර්ගයේ ජලය බැසයෑමේ අවහිරතාත් ගංවතුර සඳහා හේතු වු ප්‍රධාන කරුණු ලෙස හඳුනාගෙන ඇත.

එහිදී අධිවේග මාර්ගය තැනීම් කටයුතු හේතුවෙන් ගංවතුර ඇතිවීමට හැකියාවක් තිබුණේ දැයි සාකච්ඡා වූ අතර අධිවේග මාර්ගය තැනීමට ප්‍රථම සිදුකරන ලද ශක්‍යතා අධ්‍යයනයේ දී සිදුකළ ජල කළමනාකරණ අධ්‍යයනය නැවත සමාලෝචනය කිරීමටත් ජලය බැසයන බෝක්කු හා පාලම් ප්‍රමාණය සංශෝධනය කිරීමට නිර්දේශ කරන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමටත් තීරණය කළ බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ජනතාවට අධිවේග මාර්ගය තැනීමේ කටයුතු සිදුකිරීම නිසා යම් පීඩාකාරී තත්ත්වයක් ඇති වී ඇත්නම් හා ඉදිරියේ දී ඇතිවීමේ හැකියාවක් ඇත්නම් ඒවා මගහරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය වී තිබේ.

එසේ නොමැතිව කිසිදු අවස්ථාවක මධ්‍යම අධිවේග මාර්ගයේ වැඩ කටයුතු නවතා දැමීමට තීරණය වී නොමැති අතර මධ්‍යම අධිවේග මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව මහාමාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේවෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා පවසා තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය වූ බවය.

එහි ඉදිකිරීම් සැලැස්ම නැවත සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තෙක් ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණි.