පොලීසියේ රාජකාරී කාර්යක්ෂමව ඉටුකර ගැනීමට සෑම පොලිස් ස්ථානයක් සඳහාම ත්‍රීරෝද රථ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව අද (01) දිනයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පොලිස් ස්ථාන 10ක් වෙත සංකේතාත්මකව නව ත්‍රීරෝද රථ 10ක් බෙදා දී තිබේ.

එවැනි ත්‍රීරෝද රථ 2,000ක් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ලබාදීමට නියමිතය.

පොලිස් ස්ථානයන්හි අපරාධ වැළැක්වීම හා විමර්ශන කටයුතු, විවිධ පැමිණිලි විභාග කිරීම, 119 හදිසි ඇමතුම් සඳහා යෙදවීම, ළමා හා කාන්තා කාර්යාංශ හා දුෂණ මර්දන අංශයන්හි රාජකාරී මෙන්ම විශේෂයෙන්ම පොලීසිය හා මහජනතාව අතර ඇති සම්බන්ධතාවය වැඩිදියුණු කර ගනිමින් ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කිරීමට යොදා ගැනීම එම ත්‍රීරෝද රථ ලබාදීමේ ප්‍රධානතම අරමුණ වේ.

පොලිස් ස්ථානයන් වෙත බෙදාදීමට නියමිත අනෙකුත් ත්‍රීරෝද රථ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර විසින් නිරීක්ෂණය කර තිබේ.