සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් තවත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිදුවීමට අනුව වැඩ තහනම් කරන ලද සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විවේචනාත්මක අදහස් පළ කරමින් විවිධ මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දී ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.

එම ප්‍රකාශ මඟින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට පහර දී යතුරුපැදිය පැහැරගෙන ගිය පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර එම නිලධාරියා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය විසින් කිසිදු විමර්ශනයක් සිදු කර නොමැති බවට සඳහන් කර ඇති බවත් පෙන්වා දී තිබෙනවා.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධව මෙම පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් කොළොන්න පොලිසියට සිදු කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කොළොන්න පොලිස් ස්ථානය මඟින් හා ඇඹිලිපිටිය අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.