සභාපතිවරයාගේ කට වචනයෙන් සිදු කරන නීතියට විරුද්දව නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් තම ධුරයෙන් ඉවත් වන ලෙස ඔහු විසින් බලපෑම් සිදු කළ බව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තිළිණ හිරිපිටිය විසින් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැමිණිල්ලක් මින් පෙර වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ උසස් වීම් ලබා දීම ප්‍රමාද වීමට අදාළ ගැටළුව නිරාකරණ ක්‍රියාවලියේ දී තමාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ අත්සන් සහිතව සභාපතිවරයා වෙත යොමු කර තිබූ ලේඛන සම්බන්ධයෙන් වැරදි මතයක පිහිටා සභාපති නුසිත් කුමාරතුංග විසින් දෙසැම්බර් 12 වැනි දින තමාට සේවයෙන් ඉවත් වී ගෙදර යන ලෙස බලපෑම් කළ බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මෙම ලිපිය මගින් පවසා තිබේ. අත්තනෝමතික ආකාරයට නිලධාරීන්ගේ සේවය අවසන් කිරීමට සභාපතිවරයාට හැකියාවක් නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

එසේම නුසිත් කුමාරතුංග විසින් සංස්ථාවේ මූලික වගවීම්වලින් බැහැරව සිය කට වචනයේ බලයෙන් නියෝග ක්‍රියාත්මක කරන මෙන් බලපෑම් කරන සභාපතිවරයා නිසා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ කණ්ඩායම දැඩි අපහසුතාවකය පත් ව ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම සිදුවීමට අදාළව තිලිණ හිරිපිටිය විසින් තම මානව හිමිකම් කඩ වීමට අදාළ ව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජෙනරල් ලිමිටඩ් හි සභාපති නුසිත් කුමාරතුංගට එරෙහිව මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් සිදු කර තිබේ.