වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට මහජන සහාය අවශ්‍ය කරනවා.
පසුගිය 22 වැනි දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ, මෙම අපරාධයට අදාළ සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී තිබෙනවා.
පසුව එම කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්ගේ ද සහාය සහිතව අද (ඔක්තෝබර් 26) අලුයම් කාලයේදී අත්හැර දමන ලද නිවසක් සහිත ඉඩමක් වටලා පරීක්ෂා කර තිබෙනවා.
අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සමඟ සිටි තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු පොලිසිය සමඟ පොර බැදීමක් සිදු කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කර ඇති බව ද පොලිසිය සඳහන් කළා.
එමෙන්ම, මෙම සැකකරුවන් සමඟ පොලිස් නිලධාරීන් පොර බදින අවස්ථාවේ පලා ගිය සැකකරුවෙකු වන කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරනලියනගේ නුවන් තාරක යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.
මෙම සැකකරු අඩි 5 අඟල් 6ක් පමණ උසැති අතර, දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් ANURADA ලෙස ද වම් අතේ “හිතුමතේ ජීවිතේ” ලෙස පච්චා සලකුණු කර ඇති අතර, මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 071 859 8888 යන WhatsApp අංකයෙන් හෝ 011 233 7162 / 071 859 2087 යන දුරකථන අංක හරහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුවත් කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.





