වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු හෙළි කළ තොරතුරු අනුව වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ‘ඩුබායි ලොක්කා’ නම් සංවිධානාත්මක අපරාධකරු විසින්ය.
සැකකරුවන් සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව කැකිරාව ප්‍රදේශයේදී වැටලීමක් සිදු කළ අතර, එහිදී කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා. එහෙත්, මෙහෙයුම අතරතුරදී සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පළා යාමට කටයුතු කර තිබුණා.
ඉන්පසු, වෙඩික්කරු සොයා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, එහිදී වෙඩික්කරු අනාවරණය කර ගැනීම සඳහා CCTV දර්ශන මෙන්ම AI තාක්ෂණයෙන් සැකසූ, සැකකරු සැඟව සිටිය හැකි බවට අනුමාන කරන ඡායාරූප ද මෙම මෙහෙයුම සඳහා යොදා ගෙන තිබෙනවා.
වෙඩික්කරු කැකිරාවේ සිට බස් රථයකින් කොළඹට පැමිණ ඇති අතර, කොළඹට පැමිණීමෙන් අනතුරුව සැකකරු බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණය වෙත පැමිණ කොණ්ඩය කපා ඇඳුම් මාරු කර ගෙන සිය පෙනුම වෙනස් කර ගැනීමට කටයුතු කර ඇති අතර, අනතුරුව ත්‍රිරෝද රථයක නැඟී නුගේගොඩ දෙසට පැමිණ තිබෙනවා.
මෙම කොන්ත්‍රාත්තුවේ මුළු මුදල් වලින් කොටසක් අපරාධය සිදු කිරීමට පෙර ලබා දී ඇති අතර, ඉතිරි කොටස ලබා ගැනීම සඳහා ඔහු මහරගම ප්‍රදේශයට පැමිණ එහිදී වෙළෙඳසැලකට ගොස් ඇත. එහිදී මහරගම ප්‍රදේශයේ සිට ආවේක්ෂණ නිලධාරියෙක් සැකකරු ලුහුබැඳ ඇති අතර, එහිදී වෙඩික්කරු බවට නිශ්චිතව හඳුනා ගෙන තිබෙනවා.
පසුව අදාළ වෙඩික්කරු දිව යාමට තැත් කර ඇති අතර, පසුව ක්‍රියාත්මක වී ඇති විමර්ශන නිලධාරීන් වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු පාර්ශව රැසක් සම්බන්ධවී තිබෙනවා.





