අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය යොදාගනිමින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් මෙරට තුළ ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳ මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ඊයේ (13) ගල්ගමුව ප්‍රදේශයේදී පැවැත්විණි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මෙරට චීන තානාපතිවරයා සහ Huawei සමාගමේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

චීනයේ අලි-මිනිස් ගැටුම පැවති ප්‍රදේශවල මෙවැනි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව චීන තානාපතිවරයා සහ Huawei සමාගමේ නියෝජිතයින් මෙහිදී පෙන්වා දී තිබේ.

චීනයේ එම අත්දැකීම් සහ නවීන තාක්ෂණික විසඳුම් ශ්‍රී ලංකාවේ පාරිසරික හා භූගෝලීය තත්ත්වයන්ට ගැළපෙන පරිදි යොදාගැනීමේ ප්‍රායෝගික හැකියාව සොයාබැලීම මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණයේ මූලික අරමුණ විය.

මෙම නව තාක්ෂණය යටතේ වනඅලින්ගේ ශරීර ප්‍රමාණය සහ චලන රටා හඳුනාගැනීමට හැකි කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ කැමරා පද්ධති භාවිත කෙරේ.

ඒ ඔස්සේ වනඅලි ගම්මානවලට ඇතුළුවීමට පෙර ඒ පිළිබඳව හඳුනාගෙන අනතුරු ඇඟවීමේ සංඥා සහ පණිවුඩ මඟින් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් වේ.

මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ භූ විෂමතාව, වනඅලින්ගේ සංචරණ රටා, වනඅලි ගම්මානවලට ඇතුළුවන මාර්ග සහ අදාළ කැමරා පද්ධති ස්ථාපිත කිරීමට සුදුසු ස්ථාන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ.