පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා පසුගිය 17 වැනි දින සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කර සිටියා.

ඒ අනුව, කථානායකවරයා විසින් සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සඳහා මෙලෙස සිය සහතිකය සටහන් කර ඇත.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත 2025.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබෙන අතර ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කර ඇත.

එසේම, 2025.11.14 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත 2025.12.05 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබේ.

ඒ අනුව, ඉහත පනත් කෙටුම්පත් තුන පිළිවෙලින් 2025 අංක 24 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත, 2025 අංක 25 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත සහ 2025 අංක 26 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.