හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පදවිය නගරයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පදවිය පොලිස් ස්ථානයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් නගර මධ්‍යයේ ක්‍රියාත්මක කළ ක්ෂණික වැටලීමකදී මෙම සැකකරු කොටුකර ගැනීමට හැකිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 105යි මිලිග්‍රෑම් 700ක් මෙන්ම හෙරොයින් ග්‍රෑම් 110යි මිලිග්‍රෑම් 350ක ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පදවිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.