දේශීය ආහාර අමුද්‍රව්‍ය භාවිත කරමින් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D Food Printing) ඔස්සේ ආහාර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන අංශය පර්යේෂණයක් සිදු කර තිබේ.

එම අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශලා වෙදමුල්ල, මහාචාර්ය ජනක විජයසිංහ සහ සිසු ගයාත්මා වීරවර්ණ ඇතුළු පිරිසක් එක්ව මෙම පර්යේෂණය සිදු කර ඇත. ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ මතු විය හැකි ආහාර අර්බුද සහ පෝෂණ ඌනතාවලට විසඳුම් සෙවීමේදී ආකලන නිෂ්පාදනය ලෙස හැඳින්වෙන මෙම ක්‍රමවේදය වැදගත් වනු ඇතැයි සඳහන් වේ.

පර්යේෂණය පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශලා වෙදමුල්ල, ත්‍රිමාණ ආහාර මුද්‍රණයේදී සාමාන්‍ය ආහාර අමුද්‍රව්‍ය වයනය වෙනස් කරමින් “ෆුඩ් ඉන්ක්” ලෙස යොදා ගන්නා බව පැවසුවාය. වට්ටක්කා සහ කොස් ඇට වැනි කාලීනව හැදෙන අමුද්‍රව්‍ය අපතේ යෑමට විසඳුමක් ලෙස කොස් ඇටවලින් පිටි නිපදවා ත්‍රිමාණ ආහාර මුද්‍රණය කිරීම පිළිබඳව පර්යේෂණ කරන බවත්, බතල යොදා ගනිමින් අලුත් පර්යේෂණයක් සිදු කරන බවත් ඇය සඳහන් කළාය.

එමෙන්ම දේශීය අමුද්‍රව්‍ය මඟින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාව නිරූපණය වන විවිධ හැඩවලින් ආහාර සැකසීමට සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවස්ථා පවතින බවද ඇය පැවසුවාය. ඊට අමතරව ළමුන්ට ආකර්ෂණීය හා පෝෂ්‍යදායී ආහාර, ගිලීමේ අපහසුතා ඇති වැඩිහිටියන් සඳහා මෘදු ආහාර සහ විශේෂ රෝග තත්ත්වයන්ට ගැළපෙන ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාවද මෙම තාක්ෂණයෙන් ලැබෙන බව නිශලා වෙදමුල්ල මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.