1983 කළු ජූලියේදී දෙමළ ජනතාවට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩත්වය සහ එහි බලපෑම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව පත් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නොවැම්බර් 28 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නියෝජිතයන්ගෙන් සමන්විත කාරක සභාවට, කළු ජූලියේ සිදුවීම් සහ ඒවායේ ප්‍රතිවිපාක අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම පැවරී ඇත. ජාතික සහජීවනය ශක්තිමත් කිරීම සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමද එහි කාර්යයට ඇතුළත්ය.

මෙම කාරක සභාව පත්කිරීම සඳහා වූ යෝජනාවට පාර්ලිමේන්තුව නොවැම්බර් 3 වැනිදා අනුමැතිය ලබා දී තිබිණි. එම යෝජනාවෙන් අවධාරණය කර ඇත්තේ ජීවිත හා දේපළ හානිවලට අමතරව, සිදුවීම් හේතුවෙන් ඇතිවූ මානසික හා සමාජීය බලපෑමද නිසි ලෙස ඇගයීමේ අවශ්‍යතාවයි.

එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා යළි ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය නීතිමය, සමාජීය සහ සංහිඳියා ක්‍රියාමාර්ග හඳුනාගැනීමත්, ජනකොටස් අතර විශ්වාසය තහවුරු කිරීමත් යෝජනාවේ අරමුණු අතර වේ. සාක්ෂිකරුවන් කැඳවීම, ලේඛන හා වාර්තා ලබාගැනීම සහ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥ සහාය ලබාගැනීමේ බලතලද එහි සඳහන් කර ඇත.

1983 ජූලි ප්‍රචණ්ඩත්වයෙන් දෙමළ ජනතාවගේ ජීවිත, නිවාස සහ ව්‍යාපාරවලට බරපතළ හානි සිදුවූ අතර දහස් ගණනක් අවතැන් වූහ. දශක හතරකට වැඩි කාලයකට පසු පත් කළ මෙම කාරක සභාවේ ඉදිරි කාර්යය වන්නේ එම බලපෑම් පිළිබඳ අධ්‍යයනය පදනම් කරගෙන සහජීවනය සහ පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමයි.