අවුරුදු 21ට අඩු පුද්ගලයින් 8,459 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ එම පිරිස අතර ගැහැණු ළමුන් 161 දෙනෙකුද සිටින බවයි. එමෙන්ම අවුරුදු 18ත් 21ත් අතර තරුණයින් 1,266 දෙනෙකු හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පිරිසට කාන්තාවන් 26 දෙනෙකුද ඇතුළත් වන බවද ඔහු අනාවරණය කළේය.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපනයෙන් ඉවත් වන තරුණයන්, අනාරක්ෂිත පවුල් පසුබිම, දෙමාපියන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සහ විදේශගත වීම වැනි සමාජීය හේතු හේතුවෙන් තරුණ පිරිස මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.

මත්ද්‍රව්‍ය වැටලීම් දිනපතා සිදුකරන අතර, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කිරීම සමඟ පුනරුත්ථාපන වැඩසටහන් වෙතද යොමු කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.