දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක රස පරීක්ෂකවරයෙක් වන එච්.එල්.ඩබ්ලිව්. ජයමාන්න සහ පුද්ගලික රක්ෂණ සමාගමක උප සභාපතිවරයෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවද නියෝග කළ අතර, ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් ඔවුන්ට අවවාද කර තිබෙනවා.

(කොන්ටිනෙන්ටල් ලංකා රක්ෂණ සමාගමේ රක්ෂණය කර තිබෙන වාහන අනතුරුවලට ලක් වූ විට, එම සමාගමට වාසිදායක ලෙස රස පරීක්ෂක වාර්තා ලබාදීම සඳහා අල්ලස් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට රජයේ හිටපු අතිරේක රස පරීක්ෂකවරයා සහ අදාළ රක්ෂණ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.)