2025 සහ 2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ රජයේ වියදම් නිරීක්ෂණය කිරීම සඳහා විපක්ෂය oversight.lk නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් අනුව එය ආරම්භ කර ඇත්තේ 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිනයේදීය.

විපක්ෂය පවසන්නේ පසුගිය අයවැය යෝජනාවල ප්‍රගතිය, අමාත්‍යාංශ අනුව කාර්යසාධනය, රාජ්‍ය ආයතන සම්බන්ධ විගණන තොරතුරු සහ රජයේ ආදායම් හා වියදම් පිළිබඳ විශ්ලේෂණ එම වෙබ් අඩවියෙන් ජනතාවට ලබාදෙන බවයි. 2027 අයවැය යෝජනා පිළිබඳ විශ්ලේෂණද එයට එක් කිරීමට අපේක්ෂා කරන බව විපක්ෂය සඳහන් කරයි.

පසුගිය ඔක්තෝබර් 22 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී 2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන විමසීය. අමාත්‍යාංශ අනුව සිදු කළ වියදම්, ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ භාවිත නොකළ ප්‍රතිපාදන පිළිබඳ විස්තර ඔහු ඉල්ලා සිටියේය. මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහිදී පැවසුවේ අදාළ තොරතුරු එක්රැස් කිරීමට කාලය අවශ්‍ය බවයි.