අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් CIA ආයතනයේ රහසිගත නොවන තොරතුරු පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කරයි. කෙසේ වෙතත් මෙම සයිබර් ප්‍රහාරයෙන් කිසිදු රහසිගත තොරතුරක් අනාවරණය වී නොමැති බවත්, මේ වන විට අදාළ ගැටලුව විසඳා ඇති බවත් අනන්‍යතාව හෙළි නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කර තිබේ.

අන්තර්ජාලය, වාණිජ චන්ද්‍රිකා සහ පෞද්ගලික දත්ත සැපයුම්කරුවන් ඇතුළු විවෘත මූලාශ්‍ර ඔස්සේ තොරතුරු එක්රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම සඳහා යොදා ගැනෙන පද්ධතියකට මෙලෙස සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ නිශ්චිත තොරතුරු මොනවාද යන්න හෝ ඊට වගකිවයුතු පාර්ශ්ව කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමුවරට වාර්තා කර තිබුණේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතයි.

අමෙරිකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක තොරතුරු තාක්ෂණ පද්ධතිවල බිඳවැටීම් වාර්තා වී ඇති පසුබිමක මෙම සයිබර් ප්‍රහාරයද අනාවරණය වී තිබේ. අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) රහසිගත තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා භාවිත කරන අභ්‍යන්තර ජාලයක්ද පසුගිය සතියේ තාවකාලිකව බිඳවැටී තිබූ අතර, අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පවත්වාගෙන යන ජාතික නීතිය ක්‍රියාත්මක කිරීමේ දත්ත පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට මතු වී ඇති සැකය සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක වේ.

මීට අමතරව ගුවන් ගමන් පාලකවරුන් සහ ගුවන් නියමුවන් අතර සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල වීම හේතුවෙන් මීට පෙර අමෙරිකාව පුරා ගුවන් යානා පිටත්වීම් තාවකාලිකව අත්හිටුවීමටද පියවර ගෙන තිබිණි. ඇපල්, ජේ.පී. මෝගන් චේස් සහ මයික්‍රොසොෆ්ට් යන සමාගම්වල පද්ධතිද මෙම මාසය තුළ බිඳවැටීම්වලට ලක් වී ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වයත් සමඟ අමෙරිකාවේ තීරණාත්මක යටිතල පහසුකම්, බැංකු පද්ධති සහ මිලියන සංඛ්‍යාත ජනතාවක් දෛනිකව භාවිත කරන ඩිජිටල් සේවාවල ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී ඇත. එහෙත් මෙම පද්ධති බිඳවැටීම් මාලාව සම්බන්ධීකරණය කළ සයිබර් ප්‍රහාරයක ප්‍රතිඵලයක් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සඳහන් කර තිබේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් එල්ල විය හැකි සයිබර් ප්‍රහාරවලට මුහුණ දීම සඳහා පරිගණක පද්ධති කඩිනමින් යාවත්කාලීන කිරීම මෙම බිඳවැටීම් බොහොමයකට හේතු වී ඇති බවද එම පරිපාලනය පෙන්වා දී ඇත.