1978 දී සිංගප්පූරුවේ සංචාරය කල ඩෙන් ෂියා ඕ පින් ට එක්තරා රැස්වීම් ශාලාවක අසුන් පනවා තිබූ අතර ඔහුගේ අසුන අසල නිල් – සුදු පැහැ පඩික්කමක් තැබීමට සිංගප්පූරු බලධාරීන් ක්‍රියා කොට තිබිණ. 
ඒ චීන ජාතිකයන්ගේ නිතර කෙල ගැසීමේ පුරුද්ද බීජිං වල කල සංචාරයක් තුල දී ලී ක්වාන් යූ අත් දැක තිබුන නිසාය. එහිදී අදාල රැස්වීම් ශාලාවේ සෑම අසුනක් අසලම කෙල ගැසීමට පඩික්කමක් තබා තිබෙනු ඔහු නිරීක්ෂණය කර තිබිණ.


1970 දී සිංගප්පූරුව තුල ලී විසින් ක්‍රියාත්මක කල නගරය පුරා තැන තැන  කෙල ගැසීමට එරෙහි ක්‍රියාන්විතය නිසා 1978 වන විට සිංගප්පූරු ජාතිකයන් තුල එම පුරුද්ද බොහෝ සෙයින් අවම වී තිබිණ. මෙය දන්නා නිසාම ඩෙන් ෂියා ඕ පින් තමන් අසල තබා තිබූ පඩික්කමට කෙල ගසනු තියා ඒ දිහා ඇහැක් ඇර බැලුවේත් නැත. එතැනින් නොනැවතුනු ඔහු සිංගප්පූරුව ආදර්ශය ට ගෙන 1980 වන විට රැස්වීම් වල පඩික්කම් තැබීමේ සංස්කෘතියයෙන්  මිදීමට තරමට කෙල ගැසීම නතර කිරීම වර්ධනය කරගෙන තිබිණ.

ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩ නැගීමේදී එක් මූලික සිද්ධාන්තයක සිට කටයුතු කලේය ,  රට පිරිසිදුව , ලස්සනට තිබුනොත් සහ එහි ජනතාව විනය ගරුක කාර්යක්ෂම අය වුවහොත් පමණක් රටට ආර්ථික ආයෝජන පැමිණෙන බවය.

ඒ වෙනුවෙන් ඔහු නීති පැනවූවේය. 

නගර මධ්‍යයට හරක් පැමිණීම වැලක්වීමට ඔහු සිදුකල නීති සම්පාදනයන් දැඩි දෝෂ දර්ශනයට ලක්විය.
නගරයේ තැන තැන මෙන්ම පොදු ප්‍රවාහන සේවා අපවිත්‍ර කරමින් හපා ඉවත හරින  චුයින්ගම් නැවැත් වීමට ලී සිංගප්පූරුව තුල චුයින්ගම් තහනම් කරන ලද අතර එය විදේශ රට වල පවා හාස්‍යයට ලක්විය.

නමුත් ප්‍රතිපලය වූයේ සිංගප්පූරුව අද පවතින තත්ත්වය ට ගොඩ නැගීමයි.

වරක් 1970 දී ලී ක්වාන් ඇමරිකාවේ බොස්ටන් නුවරට සිදු කල සංචාරයකදී පුදුම සහගත දෙයක් නිරීක්ෂණය කලේය.  ඉන්ධන පිරවුම් හලවල් නොවන, නමුත් එවැනි ස්වරූපයක් බැලූ බැල්මට පෙනෙන ස්ථාන වලට වාහන පෝලිම් ගසා තිබිණ.
කරුණු සොයා බැලූ ලී දැනගත්තේ ඒ එම වාහන වලින් නිකුත්වන දුම් පරීක්ෂා කර බලා අදාල වාහනය වායු දූෂණය ට හේතුවක් නොවන එකක් බවට සහතික නිකුත් කරන සේවා ස්ථාන බවය.

ඔහු එම ක්‍රමය සිංගප්පූරුවට ද හඳුන්වා දුන් අතර වාහන බලපත්‍රය වාර්ෂිකව අලුත් කිරීමේදි මෙම වායු විමෝචන පරීක්ෂාව අත්‍යවශ්‍ය බවට නීති ගෙන ආවේය. 
ප්‍රතිපලය වූයේ අද කවුරුත් වර්ණනා කරන ලස්සන පිරිසිදු දියුණු සිංගප්පූරුවයි.

මෑතක ආසියාවේ නගර වල වායු දූෂණය මැන බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර එහිදී ඉන්දියාව , පකිස්ථානය, බංග්ලාදේශය අධික වායු දූෂණයක් ඇති නගර සහිත වූ නමුත් ලංකාවේ කොලඹ එම අධි වායු දූෂණ කාණ්ඩයට අයිති වී නොතිබිණ .

2007 – 2009 වකවානුවේදි ලංකාවේ සිංගප්පූරු තානාපතිවරයා කොලඹ පාර අද්දර වල,  තැන තැන අතරින් පතර ඇති ගස් වැල් වල අමුත්තක් නිරීක්ෂණය කර තිබිණ. ඔහුට අනුව  ඇතැම් ඒවා කලු පැහැයෙන් අවර්ණ වී තිබුන අතර ඇතැම් ගස් මැලවී කේඩෑරි වී තිබිණ.
ඔහු මේ ගැන කථා කිරීමට එවකට පරිසර ඇමතිවරයා වූ පාඨලී චම්පික රණවක ව මුණ ගැසිණ.  ඒ චම්පික එම අමාත්‍යධූරයේ වැඩ බාරගත් අලුතමය. 


තානාපතිවරයාට අනුව කොලඹ පාරවල් අද්දර ගස් වලට මේ සන්තෑසිය ඇති කරන්නේ අන් කවරක්වත් නොව වාහන වලින් පිට කරන කලු විශ දුම් වලාවන්ය.  ඔහු කියන්නට යෙදුනේ විශේෂයෙන්ම ඩීසල් දුම ඊට හේතු වන බව සහ නිසි පරීක්ෂණයක් මගින් එය තහවුරු කරගත හැකි බවය.

පරිසර ඇමති චම්පික ඒ වැඩේ කල අතර තානාපතිවරයා නිවැරදි බවද තහවුරු කර ගත්තේය.  අපේ කථාව ආරම්භයේ චීනයේ ඩෙන් ෂියා ඕ පින් මෙන්ම චම්පික ද  වෙනස ට මග පාදන්නට විණ.
ඔහුගේ විශය පථයට අදාලව ඔහු වාහන ලියාපදිංචිය අලුත් කරන විට වායු විමෝචන පරීක්ෂාවේ වැදගත්කම ප්‍රවාහන අමාත්‍යාංශයට පෙන්වා දුන්නේය.

ලංකාවේ මිනිස්සු පාරවල්වලදි ලය පුරා හුස්ම ගත් වාහන වලින් පිට වුනු  කලු දුම් වලාවන් අද දක්නට නොමැත්තේ ඉහත පෙන්වා දීමේ පලයක් ලෙසිනි.

RJ