දහම් පාසල් අවසාන විභාගය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය එකම කාලසීමාව තුළ යෙදීමෙන් සිසුන්ට සහ දෙමාපියන්ට සිදු වන අපහසුතා වළක්වා ගැනීම සඳහා ඒකාබද්ධ විභාග කැලැන්ඩරයක් සකස් කිරීමට සාකච්ඡා කළ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පවසයි.
අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වූ මෙම කාරක සභාවේදී, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව එම කැලැන්ඩරය සකස් කිරීමටත්, පළාත් හා කලාප මට්ටමින් විභාග දින සම්බන්ධ ගැටලු ඇති වීම වැළැක්වීමට අදාළ උපදෙස් යැවීමටත් අවධානය යොමු කර තිබේ.
කොළඹට නුදුරින් පිහිටි අක්කර 27ක භූමියක සිනමා, කලා සංස්කෘතික කටයුතු මෙන්ම භාවනා සහ බෞද්ධ දර්ශනය හැදෑරීමේ ආයතන සඳහා “කලා සංස්කෘතික ගම්මානයක්” ස්ථාපිත කිරීමට ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය.
පුරාවිද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමේදී කැණීම් නොකර GPR ඇතුළු නවීන තාක්ෂණය යොදා ගනිමින් භූගත පුරාවස්තු පරීක්ෂා කිරීමේ ප්‍රවේශයක් අනුගමනය කරන බව කාරක සභා සභාපතිවරයා ඇතුළු නිලධාරීහු පැහැදිලි කළහ. එමෙන්ම හානියට පත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය සංරක්ෂණය කිරීමට අදාළව පවතින හිමිකාරීත්ව හා පරිපාලන ගැටලු විසඳීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, කුරුණෑගල නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ඒකාබද්ධ සාකච්ඡාවක් පවත්වා විසඳුමකට පැමිණීමට තීරණය විය.
රාමසාන් සමයේදී විදේශයන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබෙන රටඉඳි දිවයිනේ මුස්ලිම් පල්ලි 2,700ක් අතර සාධාරණව හා විනිවිදභාවයෙන් යුතුව බෙදා හැරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා ලේඛනගත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ගමගෙදර දිසානායක සහ මුනීර් මුලාෆර් ඇතුළු මන්ත්‍රීවරුන් සහ නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.




