පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට වෙහෙස දරමින් සිටින, නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණරත්න වන්නිනායක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා අද කැඳවූ අවස්ථාවේදී නීතිඥ වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කළේ, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතිඥවරයා විසින් ඉල්ලා සිටින අතුරු ඉල්ලීම ප්‍රදානය කිරීමට තම අධිකරණයට නොහැකි බවයි.
පෙත්සම්කාර නීතිඥවරයා මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සුදුසු බව මෙහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කළ අතර, ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම පෙත්සම හෙට දහවල් 1.30 ට කැඳවන ලෙසත් අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.






