අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව, 2025 දෙසැම්බර් 18 වැනි දින සහ19 වැනි දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

ඒ අනුව, අද (17) දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිතය.

අනතුරුව අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දෙසැම්බර් 19 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වන අතර, එදින රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ දී විවාද කොට අනුමත කරගැනීමට නියමිතව ඇත.