ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඇමති රෝහිත අබේගුණවර්ධන මෙසේ කියා තිබේ.

“සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අපි දැක්කා ඔහු පහුගිය මැතිවරණ කාලෙත් ඖෂධ වර්ග ගැන නම් කියලා කියනවා. ඔහු එක සැරයක් කිව්වා මේ රටේ මිනිස්සුන්ට ප්ලැකනිල් කියලා බෙහෙතක් තියෙනවා ඒක ගන්න කියලා. දැන් ඒ වගේම ආපහු සැරයක් ඔහු එක පාරටම විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා වගේ. දැන් ආපහු බෙහෙත්වල නම් කියනවා. ඉතිං අපි කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට කරුණාකරලා තමුන්නාන්සෙ සහ තමුන්නාන්සෙලාගෙ ඔය පහුගිය යහපාලන රජයේ උන්නැහැලා ටික මේ වනවිට මේ රට පාලනය කරලා තිබුණා නම් විසාලා මහනුවරක් වෙලා ඉවරයි මේක.

දැන් පහුගිය දවස්වල එක දවසකට 150කට වැඩි මරණ සංඛ්‍යාවක් අපට වාර්තා වුණා. යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද රටෙන් බාගයක් මැරිලා. කතා කරන්න මේ අපිවත් ඉතුරු වෙයිද කියලා විශ්වාසයක් නෑ. ඒ තරම් කිසිම වැඩපිළිවෙලක් නොතිබුණු ආණ්ඩුවක උන්නැහැලා ටිකක් තමයි අද මේ කොවිඩ් ගැන කතා කරන්නෙ.

අපි දැක්කා ඊයෙ කියනවා මේ හිටපු දත් දොස්තර මහත්තයා කියනවා එයා කරපු වැඩේ දැන් හතර දෙනෙක් කරනවාලු ඇමතිවරු. එයා කරපු හැටි හොඳටම දන්නවා. එයා කරපු හැටි ගැන නම් මේ රටේ මිනිස්සු එක එක්කෙනාගෙන් ගිහිලා ඇහුවොත් හිටපු දත් දොස්තර සෞඛ්‍ය ඇමතිතුමා කළේ කියලා, කිසිම අඩුපාඩුවක් නැතුව රටම කියලා දෙයි කරපු විදිය සම්බන්ධව. කොවිඩ් තත්වය උඩ අසරණ වෙන මිනිස්සුන්ගේ කඳුළ උඩින් අහිංසක මිනිස්සුන්ගෙ මිනී උඩින් තමුන්නාසෙගෙ දේශපාලනය කරන්න යන්න එපා. අපි ඒක කියනවා අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ කෙනාටත්, මිනී උඩින් දේශපාලනය කරන්න එපා”