ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රය සහ එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඇමරිකානු සමාගමක් කැමැත්ත පළ කර ඇති අතර එමඟින් ඩොලර් බිලියන 3 ක ආයෝඡනයකින් මහා පරිමාණ තෙල් පිරිපහදුවක් ආරම්භ කරන බව බලශක්ති අමාත්යංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද විශේෂ සංදේශයකින් හෙළිදරව් වී තිබෙන බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබේ.

සමාගමේ නම හෙළිනොකර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කර තිබූ මෙම කැබිනට් පත්‍රිකාවට අනුව කොළඹ වරාය මෙන් 10 ගුණයක් විශාල ඉඩම් ප්‍රමාණයක් සංවර්ධනය සදහා ලබාදීමට නියමිතව තිබේ.

අමාත්‍යාංශ සංදේශයට අනුව, මෙම වරාය අසල අක්කර 33000 ක භූමි භාගයක තෙල් පිරිපහදුව සහ කාර්මික උද්‍යානය සහිත ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ස්ථාපිත කෙරේ.

පසුගිය රජය සමයේදී මෙම ප්‍රදේශ වල සංවර්ධන කටයුතු සදහා ඇමරිකානු රජය විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නමැති ආයතනය හරහා අරමුදල් සැපයීමට සූදානම් වුවද බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිසකගේ විරෝධය මැද එය අසාර්ථක විය. නමුත් මෙවර මෙම ව්‍යාපෘතිය සදහා කිසිදු විරෝධයක් එල්ල නොවීම පුදුමයට කරුණකි.