මහජන ආරක්ෂක අමාත්‍ය සරත් විරසේකර (02) යළිත් ගුරු වෘත්තීය සමිති පිළිබඳව අදහස් පළ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, මෙවන් අවස්ථාවකදී වෘත්තිය සමිති හෝ කවුරුන් හෝ වර්ජන, පිකටින් සිදු කිරීමට සූදානම් වන්නේ නම්, නීතිය හා සාමය භාර ඇමැතිවරයා ලෙස ජනතාවගේ යහපත උදෙසා දැඩි නීති ප්‍රකාරව කටයුතු කිරීමට සිදුවන බවයි.

”මේ වගේ වසංගතයක් තියෙන වෙලාවක, මේ වගේ ආර්ථිකය වැටිල තියෙන වෙලාවක, රට ඇරලා තියෙන වෙලාවක, වෘර්තීය සමිති හරි මොකෙන් හරි, වර්ජනය කරලා පිකටින් කරන්න යනවා නම්, අනිවාර්යයෙන්ම නීතිය හා සාමය භාර ඇමැතිවරයා හැටියට රටේ ජනතාවගේ යහපත සඳහා ඇත්ත වශයෙන්ම දැඩි නීති ප්‍රකාරව කටයුතු කරන්න වෙනවා. ඒ සමස්ත ජනතාවගේ ම යහපත සඳහා. නැවත වරක් තව රැල්ලක් ආවොත් එහෙම මේ වගේ ජනරාශින් එකතු වෙලා , සිදුකරන උද්ඝෝෂණවලින්, අපිට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා”

මේ අතර පසුගිය අගෝස්තු මස 04 වනදා ක්‍රියාත්මක වූ ඒකාබද්ධ ගුරු විදුහල්පති වෘත්තී සමිති පාගමනට සහභාගී වූ තවත් දෙදෙනෙකු අද කොටුව පොලීසියට කැඳවා තිබිණ.

ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ප්‍රකාශය ලබාදීමෙන් පසු පැමිණි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මෙලෙස අදහස් පළ කළේ ය.

”ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නෙ තමයි මේ කැඳවීම් කරන්නේ ඇයි. අපි දන්නවා මෙතන මේ උඩින් තියෙන නියෝග තමයි නිකුත් වෙන්නේ. එතකොට සරත් වීරසේකරගේ නීතිය ද ක්‍රියාත්මක වෙන්නේ? සරත් වීරසේකර කියන්නේ කවු ද? ඔහුට තියෙන බලය මොකක්ද? පොලීසිය තියෙනවයි කියලා පොලීසිය බිය වද්දන්න ඔහුට තියෙන අයිතිය මොකක්ද. මේ වගේ ඔහුට හැසිරෙන්න තියෙන බලය මොකක්ද? මේ වෙලාවේ අපි දන්නවා යුරෝපා සංගමයේ නියෝජිතය්න කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඔවුන් මානව හිමිකම් පිළිබඳව සොයා බැලීමක් කරනවා. ඒ සොයා බැලීමක් කරන කාල වකවානුවක, ඔහු මේ වගේ කටයුතු කරන්න තියෙන අයිතිය මොකක්ද? මේ ආකාරයට සරත් වීරසේකර මහත්තයගේ පොලිසිය යොදවලා මේ කරන මර්දනය නතර කරන්න කියනවා. අපි අහනවා මේක ශ්‍රී ලංකා පොලීසිය ද?, සරත් වීරසේකර මහත්තයාගේ පොලිසිය ද? මේ වගේ මර්දනය කරන්නේ”

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ද මෙලෙස අදහස් පළ කළේ ය.

”තප්පුලෑවට, උම්බෑ කිව්වට, බිරුවට අපිව යටත් කරන්න නම් බැහැ මහත්තයෝ. ඔබ තුමා කැබිනට් මණ්ඩලය ඇතුළෙත් උම්බෑ කිව්වා කියලා අපි දන්නවා. ගුරු විදුහල්පති වරුන් සේවයෙන් ඉවත් කරන්න කිව්වයි කියලා අපි දන්නවා. ඒක තමයි ඔහේලගේ තද තීරණේ. ඔය තද තීරණවලට මේ සටන අල කරන්න මොට කරන්න බැහැ”