2015-16 වකවානුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලෙස කටයුතු කළ වෛද්‍ය නජිත් ඉන්දික මහතා විසින් අවිස්සාවෙල්ල දිස්ත්‍රික් රෝහලේ වත්මන් තත්වය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය චන්න්න ජයසුමන පවසනවා.

වෛද්‍ය නජිත් ඉන්දික යනු හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු බැවින් ඔහුගේ සටහන දේශපාලනික අනුබලයක් සහිත සටහනක් බවයි රාජ්‍ය ඇමතිවරයා අද (17) දින පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ.

වෛද්‍යවරයෙක් ෆේස්බුක්හි සටහන් නොතැබිය යුතු බවත් ෆේස්බුක් හරහා කොවිඩ් රෝගීන් සුවපත් කළ නොහැකි බවත් චන්න ජයසුමන පවසනවා.

“එයා මරලතෝනි තියනවා. එයා ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න එපැයි ෆේස්බුක් එකට ලිය ලිය ඉන්නේ. ෆේස්බුක් එකෙන් බෑ කොවිඩ් ලෙඩ්ඩු හොඳ කරන්න.

අරහෙම මළා, මෙහෙම හුස්ම ගන්න අමාරු උනා කියලා විවිධ දේවල් කියමින් රට විශාලා මහනුවරක් බවට පත්කරන්න හදන්නේ අද වෙන කවුරුවත් නෙවෙයි මේ අයම තමයි.”යැයි ඔහු පවසනවා.

‘මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ‘ නමින් කොරෝනාවේ දරුනු තත්වය විස්තර කරමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූ සටහන ලියා තිබුනේ වෛද්‍ය නජිත් ඉන්දිකයි.

ඔහු සිය රෝහලේ සත්‍ය තත්වය මේ ආකාරයට සටහන් තැබූ අතර එම සටහන විවිධ වෙබ් අඩවි වලද ප්‍රචාරය විය.එලෙස ප්‍රචාරය වීමෙන් පසුව වෛද්‍යවරයා හමුවීමට සීඅයිඩී නිලධාරීන් දෙදෛනෙකු පැමිණ ඔහුව ප්‍රශ්න කර ගොස් ඇති බව වෛද්‍යවරයා තවත් සටහනක් තබමින් දන්වා ඇත.