ලෝකයේ විශාලතම නිල් පොකුරු මැණික (star sapphire cluster) රත්නපුර ප්‍රදේශයෙන් හමුවී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.
ආරක්ෂක හේතු මත සිය අන්‍යතාවය හෙලි නොකළ එම නිල් මැණිකේ හිමිකරු පවසන්නේ සිය නිවසේ පිටුපස ළිඳ හාරමින් සිටි පුද්ගලයා දුර්ලභ ගලක් හමුවු බවට තමන් දැනුවත් කළ බවයි.
ඒ අනුව කල සොයා බැලීමේදි එම ගල ඉතා වටිනා නිල් මැණිකක් බව හදුනාගත් බව මැණික් ව්‍යපාරිකයෙකුද වන මෙම මැණිකේ හිමිකරු පවසනවා. 
ඔහු සදහන් කලේ වසරකට පෙර පමණ සිදුවු මෙම සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කල බවයි.
අනතුරුව මෙම ගල  ඔප දැමීමේදි එය ඉතා වටිනා star sapphires වර්ගයට අයත් නිල් පොකුරු මැණිකක් බවට හදුනාගෙන තිබෙනවා.
කිලෝග්‍රෑම් 510 ක බරකින් යුක්ත මෙම මැණිකට ජාත්‍යන්තර වෙළඳපොලේ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ වටිනාකමක් හිමි වන බවද අදාළ වාර්තාවේ සදහන්.
පොකුරු මැණිකක්
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු වන ආචාර්ය ගාමිණී සොයිසා සඳහන් කළේ තමන් කිසි දිනක මෙවැනි විශාල මැණිකක් දැක නොමැති බවත් මෙය  වසර 400 ක් වත් පැරණි බවයි.
කෙසේ නමුත් මෙය පොකුරු මැණිකක් නිසා මෙහි සමහර ගල් උසස් තත්ත්වයේ නොවිය හැකි බවද වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ සඳහන් කළේ, මෙය බොහෝ විට ලෝකයේ විශාලතම නිල් මැණික විය හැකි බවයි.